Saturday, March 16, 2013

බිත්තර කටුවක වැඩ හුන් ප‍්‍රාණියා


ධම්මරුචි හිමියන් නැගී සිටියේ හිරු උදාව නැරඹීමට ය. බවුන් වැඞීමට සුදුසුතම මොහොත මේ විය. ගැඹුරු භාවනාවක යෙදී සිටින ධම්මරුචි හිමි සවනත මහත් වේදනාවෙන් කෑගසන හඬක් වැකුණි. 
බිත්තරකටුවක් තුළ දඟලන දාහයෙන් පෙඟුණු කුඩා ප‍්‍රාණියෙකු හිමියන්ට දැක ගත හැකි විය. පතළ විහාරයක යම් කොණක විය මේ බිත්තරකටුව සැඟවී තිබුණේ. ධම්මරුචි තුළ යම් කැළඹුමක් විය. ප‍්‍රාණියා යම් සහනයක් අපේක්ෂාවෙන් සිටින බව උන්වහන්සේට දිස් විණ. බිත්තර කටුව වූ තැනට උන්වහන්සේ වැඩිසේක. එය සෘද්ධි චාරිකාවක් විය.
‘මොකද වුනේ දරුවා?’ සුපුරුදු කාරුණික බවකින් හිමියෝ පිළිවිසීහ.
බිත්තරකටුවෙහි ප‍්‍රාණියා මුව විවර කළ මොහොතෙහිම හමන්නට වුයේ දරාගත නොහැකි දුගඳකි. එය දරාගැනීමට ධම්මරුචිට සිදු විය. එවන් දේ සැබවින්ම උන්වහන්සේට කළ හැකි විය.
‘මම නොමග ගියා හාමුදුරුවනේ.’ ප‍්‍රාණියාගේ පරමාණුවක් බඳු වතෙහි කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. ප‍්‍රාණියාට සිදු වූ දේ ධම්මරුචි හිමියන්ට දිවැසින් ආවර්ජනය කළ හැකි විය. එහෙත් ඒ පවත ප‍්‍රාණියාගේ හඬින් ම අසා දැන ගැනීමට උන්වහන්සේ ප‍්‍රිය කළ සේක.
දසුනින් දසුන සියලූ දෑ ප‍්‍රාණියාට සිහි විය.

පළමු දසුන

විහාරාධිපති හිමියන් සුධර්ම විහාරය පාලනය කළ ආකාරය මහාචාර්ය අමරසේකරට එතරම් රිසි නොවීය. සරල දිවි පෙවෙතක් ගත කළ යුතු වූ නායක හිමිනමක මේ ගෙවනුයේ මහත් සුඛෝපභෝගි දිවියක් නොවෙද?
ඔහු එදින දෙසුමට අදාල පිටපත සකස් කළේ වෙනත් ශෛලියකිනි. ‘බෞද්ධ භික්ෂුවක නොකළ යුතු දෑ’ වීය එහි මාතෘකාව. ‘බුදුදහම සමීපව අධ්‍යයනය කරන කොට පෙනී යන කරුණක් තමා,’ යනුවෙන් අමරසේකර සිය දෙසුම ඇරඹීය, ‘බුදුරදුන් වැඩසිටි සමයේ පවා භෞතික සැපසම්පත් වලට ආසකරපු හාමුදුරුවරු හිටපු බව. තමන්ට හම්බ වෙන හම්බ වෙන හැම භාණ්ඩයක්ම එක් රැුස් කරගැනීමේ පුරුද්දක් තිබුණු හාමුදුරුනමකුත් මේ අතර හිටිය. භාණ්ඩ වලට සෑහෙන්න ආස කරපු නිසා මේ හාමුදුරුවො හැඳින්වුනේ බහුභාණ්ඩික තෙරුන් කියන නමින්. ඉතින් මේ බහුභාණ්ඩික හාමුදුරුවන්ට මොකද වුනේ? අනිත් හාමුදුරුවරු එකතුවෙලා මේ හාමුදුරුවො ගැන බුදුන්වහන්සේට දැනුම් දුන්නා.’
මහාචාර්ය අමරසේකර ඇතුළත වුයේ මහත් දැවීම කි. ඔහුටම එය පසක් කර ගත හැකි වී නම්? අසල වූ වීදුරුවකින් වතුර ස්වල්පයක් පානය කිරීමට ඔහු මඳ විරාමයක් ගත්තේ ය. භික්ෂුන්ගෙන් ද ගිහි උපාධි අපේක්ෂකයින්ගෙන් ද පිරුණු ඒ දේශන ශාලාවෙහි වූයේ ඉමහත් නිහඬතාව කි. පසු පෙළක සිසුන් පිරිසක් නිදි කිරා වැටෙනු අමරසේකරට දිස් නොවී ය.
අද ඉන්න හාමුදුරුගොල්ල මේකෙන් පාඩමක් ඉගෙන ගන්න  ඕන. බොහෝ හාමුදුරුවරු ඉන්නවා හැබැයි ඒගොල්ලො ජීවත් වෙන්නෙ නම් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව නෙවෙයි. යන්නෙ බෙන්ස් රථ වල. ජීවත් වෙන්නෙ වායු සමීකරණය කරපු පන්සල් වල. මේ සැපසම්පත් විඳින්න නම් මහණ වෙන එකේ ඇති තේරුම මොකක්ද? අද බුද්ධාගම කියන්නේ හොඳට නඩත්තු කරන ව්‍යාපාරයක් මිසක් වෙන මොකක්වත් නෙවෙයි.

දෙවන දසුන
නිවාඩු සමය ගත කිරීම සඳහා ගාල්ලේ වූ සිය බංගලාව දක්වා අමරසේකර රථය පැදවූයේ ය. හමා එන මුහුදුබඩ සුලඟ ඔහුගේ නිර්මාණාත්මක මොහොතක් කුල්මත් කරයි. ඉඳුරුව විහාරයෙහි සාමණේරව ගත කරන සමයක මේ මුහුදු සුලං පහස විඳිමින් යම් නිර්මාණාභ්‍යාසයක යෙදුණා අමරසේකරට තවමත් මතක ය. දැන් ඉතින් ඔහුට අවශ්‍යව ඇත්තේ රුක්බැඳි යහනත් කම්කෙත් පරිගණකයත් පමණි.
මහාචාර්ය අමරසේකර අහවර කරමින් සිටියේ ‘ශ‍්‍රී ලංකාවේ භික්ෂු හැසිරීම’ පිළිබඳ වාර්තාවේ සැටදෙවැනි පිටුව ය. රාජ්‍ය නොවන සමාගම් වලින් දෝත පුරා පුද දීමට සැදී පැහැදී සිටින මුදල් පිළිබඳ මහාචාර්ය අමරසේකර තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ ය. භික්ෂුව දිවිගෙවිය යුත්තේ සැපපහසු ලෙස නොවේ. එපමණකි ඔහුට ඇවැසි වූයේ.
කොළඹ සිට වු සිවු හෝරා චාරිකාව ද මුහුදු සුලඟ ද ඔහු නිදිබර කරවීය. සිවුරෙහි සිටි යටගිය දිනකට ඔහුගේ මනස කෙමෙන් පියමං කළේ ය. පවුලේ පස්වැන්නා ඔහු වූ බැවින් කළ හැකි අන් කිසිදු දෙයක් නොවී ය. නායක හිමියන් ඔහු හදා වඩා ගත්තේ සුළු සුළු රැුකියාවල යෙදුණු ඔහුගේ පියා පිළිබඳ අනුකම්පාවකිනි.
‘කොලූවා හරි දස්සයා.’ ඔහුගේ ගුරුවරයා නිබඳ තෙපළු වදනකි ඒ. මහණ දිවියෙහි සැම දුක් කම්කටොල්ලක්ම අමරසේකර විඳ දරාගත්තේ ය. මේ උකටලි බවින් ගොඩ ඒමක් ඔහුට අවශ්‍ය විය. සරසවි වරම් ලැබ ගැනුම සඳහා බොහෝ වෙර වෑයමින් ඔහු සියලූ දෑ වනපොත් කළේ එබැවිනි. බුදුදහමත් ඉංගී‍්‍රසියත් එකවර අධ්‍යයනය කළ හෙයින් යම් වාසනාවක් පෑදිණ. සුඛවිහරණ දිවියක් ඔහු ඉදිරියේ දිස් විය.
කම්කෙත් පරිගණකයට විවේක ගන්නට ඉඩ හැරි අමරසේකර සිය සිතිවිලි ලොවෙහි කිමිදෙන්නට විය. මඳ මොහොතකින් ඔහු වුයේ මහ නින්දක ය.

තෙවන දසුන
පූජ්‍ය ගලගම ඥානින්ද හිමියෝ මහාචාර්ය අමරසේකරගේ යම් කළෙක සමීපතම සගයා වූහ. හුදෙකලා මොහොතක උන්වහන්සේ පිළිබඳ අමරසේකර තුළ වූයේ වදනින් කිව නොහැකි යම් මාත්සර්ය්‍යකි. ඉදිරිය කෙතරම් පබසර වුවත් ඥානින්ද හිමියන් නොවේ සිවුරු හැරියේ. දැනුමින් පතල හිමිනමක සේ පරසිදු වීම නිසාම උන්වහන්සේට නෙක සැප සම්පත් විය.
හිමිනමගේ මනස්කාන්ත රූපකාය සමඟ යම් රහසිගත පෙම් සබඳතාවක් යා කොට කටකතාවක් පැතිරීමට වරක් අමරසේකර තැත් කළේ ය. ඥානින්ද හිමියන්ගේ වියැපැහැදම් පිළිබඳ නඩු විභාගයක් පැවැත්වීමට වරෙක අමරසේකර ඉල්ලා සිටියත් බලධාරින් හිමියන්ට යම් සාධාරණ බවක් දැක්වූහ.
සියලූ දෑ තවත් වහකදුරු සේ වූයේ ඥානින්ද විහාරාධිපති හිමියන් වූ අනතුරුව ය.
සිවුවන දසුන
කුමක් හෝ කළ යුතු ය, සිය අතැඟිලිතර දැවටුණු ස්කොච් වීදුරුව දෙස බලමින් අමරසේකර සිතුවේ ය. එක්කො ඥානින්ද නැත්නම් මේ අමරසේකර. සිය පැරණි සගයාට කුමක් හෝ කරන තෙක් ඔහුගේ මනසට විවේකයක් නොවී ය.
තවත් අයිස් කැට කිහිපයක් සඳහා ශීතකරණය වෙත ගිය ඔහුට පසෙකින් තබන ලද කුණු බිත්තරයක් දිස් විය. එවිටම යම් දෙයක් ඔහුගේ මනසෙහි ඇඳී ගියේ ය. හරි, ඔහුට සිතිණ. එහෙත් අඳුර තෙක් ඔහුට බලා සිටීමට සිදු විය. එතෙක් අනෙකුත් දේ ගැන සොයා බැලිය යුතු ය. පෙනුම වසන් කිරීමට නම් රෙදි හිස්වැසුමක්  හා කබායක් පමණ විය.
රාත‍්‍රී එකොලහේ කණිසම වැදුණු මොහොත එය විය. මාවත දිස් වූයේ පාළුවටම ගිය කතරක් සේ ය. අමරසේකර සිය ගමන ඇරඹී ය. වෙහෙර අසබඩ කිසිදු සරන්නෙකු නොවූ හෙයින් ඔහු සිත්හි යම් සැනහුමක් විය. කුඩා පවුර මතින් වෙහෙර බිමට බට මහාචාර්ය අමරසේකර නායක හිමියන්ගේ කුටිය අසල වූ විහාර ගෙය දක්වා පියමං කළේ ය. සැක සංකා ඔහු සිත පෙලන්නට විය. එහෙත් මෙය තව මොහොතකට කල් දැමිය නොහැකි දෙයකි. ඔහුගේ දෑත් යුහුසුළුව ඇවැසි කාර්යයේ නියැලිනි.
මොහොතකින් කුණු වූ බිත්තරය කැබලි විය. කැබලි කැබිලිති වී විහාරගෙයි බිම මත ඉසිරිණ.
ඔහුගේ ප‍්‍රීතියට නිම් හිම් නැති විය. ගන්ධය නම් දරාගත නොහැකිවූවක්ම විය. අමරසේකරට එහි කිසිදු බාධාවක් නොවී ය. විහාරයට අමනුස්ස බැල්ම වැටී ඇතැයි දැන් ඉතින් දායකයන් සිතනු ඇත. සදහටම ඔවුන් මේ විහාරය හැර යනු ඇත. කණගාටුයි ඥානින්ද නමුත් මේ දේ නම් නුඹට කළ යුතුවම තිබූ දෙයක්. විහාරයෙන් පිටතට පැමිණීම අමරසේකරට එතරම් අපහසු නොවී ය.

පස්වන දසුන
අමරසේකරගේ අසල්වැසි දියණිය ලැහැස්ති වෙමින් සිටියේ පසුදිනෙක විනෝද චාරිකාවක යෑමට ය. මැදියම තෙක් දියණිය ද මව ද අවදි වී බිත්තර සැන්ඞ්විච් පිළියෙල කරමින් සිටියහ. දියණියට යම් දුර්ගන්ධයක් දැනිණ. එවිටය පසෙක වූ දුර්වර්ණ වූ බිත්තරය දැක ගත හැකි වූයේ.
‘මං හිතන්නෙ අම්මෙ මේක නරක් වෙලා. ටිකක් ඉඹල බලන්න.’
‘මොනව ඉඹින්නද ළමයො. ඔන්න  ඕක විසි කරල දාන්න. මේන් තව නරක් වෙච්ච එකක් තියෙනව. දෙකම විසිකරල දාන්න. නගර සභාවෙ මිනිස්සු මෑන්හෝල් එක ඇරල පොඩි රෙපයාර් එකකට. ඒක නිසා ප‍්‍රශ්නයක් නැහැ ඔය බිත්තර ටික කොහොමත් මෑන් හෝල් එක ඇතුලට වැටෙන එකනෙ.’
ඇඹුල් වූ මුහුණින් දියණිය කවුළුවෙන් එලියට බිත්තර දෙක විසි කළා ය. එහෙත් ඇයගේ ඉලක්කය වෙනතක වූ බව ඇයට නොවැටහිණ. බිත්තර පතිත වූයේ මනුබිල තුළට නොවන බව ඇයට නොදිස් විය.
සවන දසුන
බිත්තර පහරකට ලක් වීම අමරසේකර තුන් හිතකින්වත් සිතු දෙයක් නොවිය. මොන ලෝකෙන්ද මේ බිත්තර ආවේ? එය කෙතෙක් නරක් වී ද යත්, ඉන් ඔහුගේ දෑස් පවා වැසී ගියේ ය. උපකාරයක් ඉල්ලීමටවත් කෙනෙකු අසලක නැති සෙය කි. මහ රැුයක ඔහු නිරතව සිටින කාර්යය කුමක් දැයි ඒ කවරෙකු හෝ තුළ සැක මතු වීම සාධාරණ ය.
සිය ඊලඟ පියවර ඔහුගේ ඉරණම විය. යම් වළකට ඇදගෙන වැටෙනු ඔහුට දැනින. එය ලිස්සන සුළු මෙන්ම මහ දුගඳකින් ද යුතු විය. ජීවිතයේ පළමු වතාවට මරණ බිය ඔහුට දැනිණ. එහෙත් දෑස් වැසුණු පළියට හෝ වළක වැටුණු පළියට කෙනෙකු මිය යා ද? නැත, එවන් දෙයක් සිදු වීම අභව්‍ය ය. සැබවින්ම අභව්‍ය ය. 
එහෙත් ඒ වළ නම් බොහෝ ලිස්සන සුලූ විය. එය මිනිස් ග‍්‍රහණයකට පවා නතු නොවී ය. වළ තුළ වූ ජල කඳ අමරසේකරගේ පපු පෙදෙස දක්වා විය. වෙවුලමින් සිටි තමා කෙතරම් ගැඹුරක සිටින්නේ ද යන අදහසක් අමරසේකරට නොවී ය. ගල්ගැසුණාක් සේ ඔහු සිටියේ සිටගෙනම ය. ඔහුට කළ හැකි කිසිවක් නොවී ය. වන්නාට වන දෙයක් වෙවයි කියා හඬ තැලූවා නම් යැයි ඔහුට සිතිණ. එහෙත් කිසිවෙකුට ඔහු නෑසෙනු ඇත. නගර සභා සේවකයින් ද අසබඩක සිටියේ නැත.
ඇතැම් විට ඔවුන් එන තෙක් මඳ නින්දක නිරත වීම මැනැවැයි ඔහුට සිතිණ. මහ රැුයක දිවා සිහින දැකීම හැර වෙන කුනම් නම් දෙයක් ඔහුට කළ හැකි ද? සිහිනයක දුටු දෙයකින් ඔහු ආහ්ලාදයට පත් විය. විහාරාධිපති පූජ්‍ය ගලගම ඥානින්දගේ හිස ගසා දමන ලෙස ආඥාවක් කළ මහා රාජෝත්තමයා ඔහු විය. ඔහු මහ හඩින් හිනැහෙන්නට විය. දැන් ඉතින් තමන්ට තවදුරටත් බාධා කිරීමට ඥානින්දට නොහැක. 
එය කෙතරම් ගැඹුරු නින්දක් ද කිවහොත් ඉන් නැවත අමරසේකර අවදි නොවූයේ ය.

මතුබවට පිවිසීම
සිය සොව අසා සිටීමට කවුරුන් හෝ සිටීම බිත්තර කටුවේ ප‍්‍රාණියාට සැනිසිලිදායක විය. එහෙත් ඒ සතුට කොතරම් මොහොතක් පවතී ද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.
‘ඒ වගේ වැඩක් නොකර ඉන්නයි තිබුණේ දරුවා. බොහෝ සැපසම්පත් එක්ක ජීවත්වෙන ඇතැම් හාමුදුරුවරු සීලවන්තයි. උන්වහන්සේ ජීවත්වෙන විදිහ බලල අපිට තීරණ ගන්න බැහැ.’ ධම්මරුචි හිමියෝ පැවසූහ.
‘මං දන්නව හාමුදුරුවනේ. මගේ හැඟීම්වලම දාසයෙක් වුණා මං.’
‘ඔය දරුව මහණ ජීවිතයේ සෑහෙන පින්දහම් කරල තියෙන කෙනෙක් බව මට පේනවා. හැබැයි ඉතින් මේ බිත්තර කටුව ඇතුලේ තව බොහෝ කලක් ඉන්නත් සිද්ධ වෙනවා. ඒත් හිත කරදර කරගන්න එපා. ඔය දරුව ඊලඟට උපත ලබන්නේ හොඳ අත්බවක.’
ජීවිතය ද බිත්තරකටුවක ගමනකට සම කළ හැකි නොවෙද? කිසිවෙකුට පිරිපතක් නොපැතිය යුතු චාරිකාව කි ඒ. කිසිවෙකුට සොයා ගත නොහැකි ලෙස ධම්මරුචි හිමියෝ බිත්තර කටුව යම් තැනක තැන්පත් කළහ. පූජාසනයේ වූ පුවත්පතක පත්ඉරුවක් ඔහුට දිස් විය. එහි වූයේ හුුරුපුරුදු අයෙකුගේ රුවකි. හිරු එලිය ඒ පත් ඉරුව ස්පර්ශ කළේ හිමියන්ට සුපැහැදිලි ලෙස එහිවු පුවතක් කියැවීමට ය.
ඊයේ උදෑසන විවෘතව තිබූ මනුබිලක වූ මහාචාර්ය අමරසේකරගේ ප‍්‍රාණය නිරුද්ධ දේහය නගර සභා සේවකයින් විසින් සොයා ගන්නා ලදි. මහාචාර්ය අමරසේකර රාත‍්‍රි විවේක ගමනක යෙදෙන අතර මනුබිල තුලට ඇද වැටී ඒ ඛේදනීය සිදුවීමට මුහුණ දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. රාත‍්‍රි කාලයේ වූව මනුබිලක් විවෘතව නොතබන ලෙස නගර සභා බලධාරින් විසින් සේවකයන්ට හට උපදෙස් දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.
 

3 comments:

  1. ඉතාමත් ආසාවෙන් කියවපු, දිදුලන දුහුවිල්ලේ විරිතෙන් ලියපු මේ කෙටි සටහනට මම ඉතාම මනාපයි..!
    උඹ මගේ මිතුරෙක් නිසාම නොවෙයි, මේ රිද්මය මට ඉතාම හුරු බවක් ගෙන දෙන නිසා..!
    ස්තූතියි මිත්‍රයා
    තව තවත් ලියන්න..!
    ජය!

    ReplyDelete
  2. නියමයි..! දිගටම ලිව්වොත් දිගටම කියවන්නම්...

    ReplyDelete
  3. කසුන් ශ‍්‍රී මිත‍්‍රයා,
    මගේ පොත ගැන ඔබ සටහනක් ලියා තිබුණා දුටුවා. එය දැක්මෙන් මට ඇති වූ සතුට කියන්නට වචන නැහැ.

    බීට්ල්,
    ඔබේ දිරිගැන්වීමට නොවක් තුති.

    ReplyDelete