Friday, March 15, 2013

ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම දැක ගැන්ම

මෙදවස තිරගත වන ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටය ගැන අමුතු වදනක් අහන්නට ලැබෙනවා.
පසුව බුදු වන සිද්ධාර්ථ ගෞතමයන් ලොවෙහි ශ්‍රේෂ්ඨතම පුරුෂයකු වන හෙයින් එවන් චරිතයකට පණ පෙවීම කිසිවෙකුට හෝ තරම් නොවන බව එක් අදහසක්. ගෞතමයන්ගේ පරිවාර චරිතයන්ට ද පණ පෙවීම එතරම් තරම් නොවන බව තවත් අදහසක්.
සමහරු මේ අදහස් පළ කොට තිබුණේ චිත‍්‍රපටයේ පූර්විකා දර්ශනයක් පමණක් නැරඹීමෙන්. එ් නිසාම මේ ගැන අදහසක් දක්වන්නට, චිත‍්‍රපටය තවමත් නරඹා නැති අපට ද නිදහස තිබෙන බව ඉන් පසක් වෙනවා.
මේ දෝෂාරෝපනයේ අප නම් දකින්නේ හාස්‍යජනක බවක් පමණයි. චිත‍්‍රපටය ගෙතී ඇත්තේ සිද්ධාර්ථ ගෞතමයන් වටා මිස, බුදුරදුන් වටා නොවේ. සිද්ධාර්ථ ගෞතමයන් යනු සමාජ සිරිතට අනුව යෙමින් විවාහපන්නව, දරුවෙකු ද ජනිත කොට, නැටුමින් වැයුමින් සන්තර්පණය වුණු එ් තුළම ජීවන සත්තාව ගවේෂණය කල ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඔහු සෙසු දාර්ශනිකයන්ගෙන් වෙනස් වන්නේ, බොහෝ කලකට පසුව ඔහු බුදු බවට පැමිණෙන නිසා.
රන්ජන් රාමනායක වැන්නන් සුද්ධෝදන රජුගේ චරිතය පණ නොපෙවිය යුතු නම්, දිරා යන බිත්තියක බුදුරදුන් ද සිත්තම් නොවිය යුතු යි. එසේ නම් කහටින් කිලූටින් පිරි මිනිසුන් අතින් බුදුරදුන්ගේ පිලිරුව ද අඹනු ලැබීම වරදක්.
මෙවන් අමුතු වදනක් අපේ කන වැකෙන්නට එක් ප‍්‍රධාන හේතුවක් තියෙනවා. අප රටේ පවතින්නේ සංස්කෘතික බුදු දහමක්. බුදු පිලිමයට ගරු කරන, වත් පිළිවෙත් කරන, බුදු දහමක්. එය එසේ විය යුතු යි. එහෙත් සැබෑ බුදු දහම ඇත්තේ එ්හි පස්සිකෝ තුළ. බුදු රදුන් නිතොර පැවසුවේ එව බලව කියා. එ් නිසාම තමයි අපේ පැරණි කලා කෘතිය බුදු දහමින් නිතොර පෝෂණය වූයේ.
බුදු රදුන්ගේ චරිතය, උන්වහන්සේගේ පරිවාර චරිත නිතොර අපට එ් ජීවන දායාදය ලබා දුන්නා. ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම යනු එහි එක් දිගුවක් පමණයි. මීට විරුද්ධ වීමෙන් දිස් වන්නේ එකම එක සත්‍යයි. ලෝකයේ පවතින ඇතැම් අන්තවාදී ආගම් වලින් අප ද කුපෝෂණය වන බව යි එ්.

No comments:

Post a Comment