Sunday, November 18, 2018

අද නොවැම්බර් 18


අද නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
2005 මේ දිනය මට තවමත් මතකයි.

අගමැති මහින්ද රාජපක්ෂට
ඔහුගේ 60 උපන්දිනයට
ජනතාව තෑග්ගක් දුන්නා.
ඒ තෑග්ග
මේ රටේ ඉතිහාසය තීරණය කළා.

කළ වැරදි නම් අපමණ ඇති.
සල්ලි හොරකම් කරන්න ඇති නැති වෙන්න
තක්කඩිකම් මැරකම් කරන්නත් ඇති නැති වෙන්න
ඇයි පවුල් පාලනය… සහෝදර සමාගම…?

ඒත්…

මොන පාලකයා ද එහෙම නැත්තෙ?

පැරීසියෙ ත්‍රස්ත ප්‍රහාරය
කන වැකුණහම මට මතක් වුණේ මේ තක්කඩි පාලකයා
එදා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයින් පිළිගත්තු හැටි
ඇඹිලිපිටියට ගෙන්නගෙන කිව්වෙ
පටන් ගත්තු යුද්ධය අවසන් කරන්නෙ නැහැ කියල.
එදා ‍මේ මනුස්සය ඇතුළෙ මම දැක්කෙ රජෙක්.
රජකමින් හිස උදුම්මගෙන කටයුතු කරපු අත්තනෝමතික පාලකයෙක්.
ජාත්‍යන්තරයත් සමඟ සුහදව ගනුදෙනු කරන්නට ඉගෙන ගත යුතු නායකයෙක්.
ඒත් ප්‍රංශය අද කරන්නෙ එදා ඔවුන්ම මහින්දට එපා කියපු දේ නේ ද?

පුදුමයි නේ ද?

යුද්ධය, ත්‍රස්තවාදය, හමුවේ හැම පාලකයෙක්ටම පය පැටළුණා.
මහින්දට වැරදුණු තැන් බොහොමයි.
ඔහුට ඉංගිරිසි බැහැ.
ඔහුට පරිණත දේශපාලන පරිඥානයක් තිබුණෙ නැහැ.
ඔහුට හරියට කතාවක් පවත්වන්න අමාරුයි.
ඒත් ඔහු එක දෙයක් කළා.

යුද්ධය අවසන් කළා.
ත්‍රස්තවාදය අවසන් කළා.

  "කමක් නෑ බං යුද්දෙ දින්නනෙ"
යම් පෙර දවසක
තමන්ගෙ ජීවිතය දෙයියන්ට බාර කරල
තමන්ගෙ ජීවිතය ගැන විශ්වාසයක් නැතිව
ගෙදරින් එලියට බැහැපු
සිංහල, දෙමල, මුස්ලිම් හැම පුරවැසියෙක්ම
මේ මනුස්සයාට ණයගැති විය යුත්තෙ ඒ නිසා.

මනුදහමට පිටින් යන්නට තැත් කළ නිසා මනුදහම මහින්දව පරාජය කළා.
මියෙන තෙක්ම බලයට ලොල්ව කල් ගෙවන්නට ඔහුට අවකාස ලැබුණෙ නැහැ. ඒ නිසයි සොබා දහම නිසි කලට ඔහුව විශ්‍රාම ගැන්වූයෙ.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ප්‍රංශයේ ත්‍රස්තවාදයට විරුද්ධව කොඩි ඔසවන අපි අපද කලෙක පෙළුෑ ත්‍රස්ත සැකකරුවන් කිසිදු පුනරුත්ථාපනයකට ලක් නොවී මුදා හැරෙන දෙස අපි බලා සිටිනව.

අප කම්පනයට පත් වෙලා ද?
අනාගතය ගැන යම් අනියත බියක් අප තුළ වෙත් ද?
ඡන්දයකින් අප තෙ‍ා්රා පත්කරගන්නේ අපට සුදුසු පාලකයන්ම නොවේ ද?

මේ තමා සොබා දහම අපට උරුම කර දුන් මග.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ඒ අතරෙ ඇත්තෙ අපට අමතක නොවන නොවන දෙයක්.
මේ රටේ ඉතිහාසය තවත් ඉකිහාසයක් නොවන්නට උර දුන් අපූරු මිනිසෙකු අප ජීවිත කාලයේ දී සිටි බවයි ඒ.

නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
මට මතක ඇත්තේ ඒ නිසා.
ඒ දිනය මතක ඇති මිනිසුන් සිටින තාක් කල්
මහින්ද රාජපක්ෂ නම් ඒ සොඳුරු ආඥාදායකයාට හෘදයාංගම උපන්දින සුබ පැතුම් නොඅඩුව ලැබේවි.