Tuesday, April 16, 2019

අරවින්ද දුටු උන්වහන්සේ

අරවින්ද සිටියේ සියල්ලටම පසුපසින්. ඔහු ඉදිරියේ මහා නඩයක් ඇදුණා. එහි ඉදිරියෙන්ම සිටියේ සිය මුත්තණුවන්. සිය ඥාති පරපුරේ ජ්‍යෙෂ්ඨතමයා ඔහු වූ නිසා හැම කටයුත්තකමට මුල් තැන නිතැනින්ම හිමි වූයේ ඔහුට.
සියවසක්ද පසු කොට වසර දෙකක් ගෙවී ඇති මුත් තවමත් කාර්යශූර වූ සිය මුත්තණුවන් දෙස ඔහුට වඩා වසර 90ක් බාල අරවින්ද බලා සිටියේ විස්මයාවහ නෙතින්.
බොහෝ දුර නැවති නැවතී පැමිණි මේ සෙනඟට හැකි ඉක්මනින්ම ගමනාන්තය කරා ළගා වෙන්නට අවශ්‍ය වුණා.
එහෙත් ඉදිරියෙන් පසෙකට වී සිටින භික්ෂුවක් නිසා නඩය සිය ගමන මොහොතකට නතර කළා. මැදි වයසේ සිටින ඒ භික්ෂුව පසෙකට වී සිය සිවුරේ ඉරී ගිය කොටසක් මහමින් සිටියා.
‘ඔබවහන්සේට මහන්සි පාටයි. පැන්පහසුවක් එහෙම?’
‘එහෙම අවශ්‍යතාවක් නැහැ පින්වත. ඔබ මේ යන්නේ කොහිද?’
‘අපේ අසල්වැසි රටේ වැඩ වාසය කරන බුදුරජාණන් වහන්සේ මේ අඩවියට වැඩම කළා යැයි පුවතක් අප ගම් පළාතේ පැතිරුණාග උන්වහන්සේ වැඩම කොට මේ අඩවිය තමන්වහන්සේගේ සිරිපා සලකුණින් ආශිර්වාද කලා කියා පුවතක් අපේ ගම් පලාතේ පැතිර යනවා,’ මුත්තණුවන් පැහැදිලි සරින් කියා සිටියා.
‘අනේ ඉතින් ඒ උත්තමයන් වහන්සේව දැකගන්නට බැරි වුණත් අඩුම තරමේ උන්වහන්සේගේ සිරිපතුල් හරි දැක දැකගන්නට පුළුවන්නම් කොයි තරම් දෙයක්ද?’ ඒ වැඩිමහළු ඥාතියෙක්.
‘උන්වහන්සේ සිරිපතුල සලකුණු කොට දැන් දින දෙක තුනක් වෙනවා කියල තමයි ආරංචියග ඔබවහන්සේට උන්වහන්සේ හමු වුණාද?’
‘උන්වහන්සේ සිරිපතලෙන් ආශිර්වාද කොට දැන් දින දෙකක් හෝ තුනක් වෙනවා කියල තමයි ආරංචිය. ඔබවහන්සේට උන්වහන්සේ හමු වුණා ද?’
‘මේ ඇත්තෝ බොහෝ දුර ගෙවා ගෙන ඇවිත් තියෙනවා. මෙතන නැවතිල ගිමන් හැරියොත් බුදුරජාණන්වහන්සේ දැකගනැනීමට හැකියාව ලැබේවි.’
‘අපි දැන් සෑහෙන තැන් වල නතර වෙවී ආවේ. මෙතනත් සුනංගු වුණොත් අපිට සිරිපතුල් වහන්⁣සේ දැක ගන්නට තව බොහෝ වෙලා ගත වේවි. ඔබවහන්සේගේ සිවුර හැකි ඉක්මනින් මසා දෙන්නට අපට අවසර ද?’
භික්ෂුව සිය ඉඳිකටුව පසෙකින් තැබුවා.
"මගේ සිවුර මසා අවසානයි. පිංවතුන් බොහෝ දුර ඇවිත් තියෙනවා. දැන් ඉතින් නැවතුණොත් නේ ද හොඳ?"
‘එහෙම නවතින්න හැකියාවක් නැහැනේ හාමුදුරුවනේ. අපිට තව බොහෝ දුර යන්න තියනව. එහෙනම් අවසරයි හාමුදුරුවනේ. තවත් සුනංගු වෙන්න කාලයක් නැහැ.’
සියලු දෙනා එකත්පසුව වැඳ නමස්කාර කොට භික්ෂුවගෙන් අවසර ගෙන ඈතට යන තෙක් අරවින්ද බලා සිටියා. තමාගේ නැවතීම ඒ කිසිවෙකුට නොදැනුණේ ගමනාන්තය ගැනම සිත යොමු කරගෙන සිටි නිසා විය යුතු යැයි ඔහුට සිතුණා.
අරවින්ද භික්ෂුවට සමීප වුණා.
‘ඇයි පුතා?’ භික්ෂුව විමසුවා.
‘ඔබවහන්සේ කී දේ ගැන මට ප‍්‍රශ්නයක් තියෙනව.’
භික්ෂුව නිහඬව සිටියේ අරවින්දට කතා කරන්නට ඉඩ හරිමින්.
‘මගේ මාමලා නැන්දලාට මෙතන නවතින්න කියල දෙවතාවක්ම කිව්වා. නැවතුණොත් බුදුරජාණන් වහන්සේ දැකගන්නට පුළුවන් වේවි කියලාත් කිව්වා. ඒ කිව්වෙ නිකම් වෙන්න බැහැ."
භික්ෂුව හිස ඔසෙවා අරවින්ද දෙස බැලුවා. සිය සිත් නෙතින් භික්ෂුව තමා ඉදිරියේ සිටින බාලකයාගේ සිත් රුව විනිවිද දැකගත්තා.
"පුතා කැමතිද බුදුරජාණන්වහන්සේ දැකගන්නට?"
"ඔව් ස්වාමින්වහන්ස."
"ඇයි ඒ?"
"උන්වහන්සේ⁣ගේ අපරිමිත රූපකාය ගැනත් දේසනා කරන අසිරිමත් ධර්මය ගැනත් මම අසා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ දැකගැනීමට මම ආසයි."
"ඔබ දැන් බොහෝ දුර පැමිණ ගමන් විඩාව ඇති කෙනෙක්. එවිට කොහොමද බුදුරජාණන්වහන්සේ දැකගන්නේ"
"උන්වහන්සේ දැක ගන්නට ගමන් විඩාව නැති වෙන්න ඕනද ස්වාමින්වහන්ස?"
"බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකෙට බිහි වෙන්නේ හැල්මේ දුවන සත්වයන්ගේ ගමන නැවතීම කියා දෙන්නයි. ඒ නිසා පුතා ඔබ දැන් නවතින්න ඕන. හති අරින්න."
"මම ලැහැස්තියි ස්වාමින්වහන්ස."
භික්ෂුව අරවින්දට තමා ඉදිරියට පැමිණ හිඳගන්නා ලෙස සන් කළා.
දැස් පියාගත් අරවින්ද භික්ෂුවගෙන් නිහඬ පාඩමක් ඉගෙනගත්තා.
දෑස් හැරි අරවින්දට තවදුරටත් කඳුමුදුනේ සලකුණුව තිබෙන සිරිපතුල් දැකගන්නට අවශ්‍ය වූයේ නැහැ. සිය ඥාති සමූහයා පිළිබඳව ඔහුට මුලින්ම දැනුණේ අනුකම්පාවක්. පසුව එය සංවේගයක් බවට පත් වුණා. ඉදිරියෙන් වඩින මහාපුරුෂයාණන්වහන්සේ පසුපස අරවින්ද සෙමෙන් සෙමෙන් ඇදුණේ උන්වහන්සේ පරිහරණය කළ ඉඳිකටුවද රැගෙන සාදා ගත් සිතකින්.