Sunday, March 18, 2018

ඔබ පුදන මලට සාධාරණයක් ඉටු කරන්න.

‘තේ එකක් බොනවද?”
‘ඔව් නේද. ඒ සම්ප්‍රදායත් කඩන එක හොඳ නැහැනෙ.’
අැඟට පතට නෙදැනී අයියා කරපු ඒ අනුමතය සමඟමම මම රථය අපේ ප්‍රියතම ආපන ශාලාව වෙතට හැරෙව්වා.
ඒ ආපන ශාලාවට අපි ප්‍රිය කළේ කාරණා කිහිපයක් නිසා. නිදහසේ ඉඳගෙන කතා කරන්නට ඉඩ හසර තිබීම එකක්. ඒ වාගේම කෙටි අාහාර වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ හැමටව වඩා හොඳම දේ තමයි ඒ ආපන ශාලාවේ හැදුණු තේක. සීනි නෙමැතිව පානය කරන්නට හැකි ලෙස කහට ගානට කිරි ගානට තිබුණු ඒ තේක බොහෝ ප්‍රණීත වුණා.
“ඔයාම ඒ කතන්දරය මල්ලිට කිව්ව නමි තමයි හොඳ,” කෙටි ආහාර පිඟානත් තේ කෝප්ප දෙකත් සමඟ මේසයක් අසළ හිඳගෙන මෙහි එ්මට පෙර අප කතා කරමින් හිටි මාතෘකාවට එළැඹුණා.
අපේ ඥාති මළණුවන්ට අවශ්‍ය වී තිබුණේ ඔහු දන්නා හඳුනන අාරණ්‍යයක බෝ රුකක් සමීපයේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට වඩා විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදි කිරීමට. ඒ කටයුත්ත සඳහා ආධාර එකතු කර ගැනීමටයි අපේ මලනුවන්ගේ සූදානම.
බොහොම පිංවන්ත අදහසක්.
ඒත්…
අපිට ඇති වෙන බොහොමයක් පිංවන්ත අදහස් වග එතරම් තේරුමක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද බුද්ධ ප්‍රතිමාව වැඩ ඉන්න ඕන බුදු ගෙයි තුළ. එතැන වැඩ ඉඳගෙන ඇසතු බෝ රුක දිහා අනිමිස ල‍ෝචනයෙහි යෙදෙමින් සිටින බුදුරජාණන්වහන්සේ තමයි අප මනසේ ඇඳිල තියෙන්නෙ. ඉතින් බෝරජුන් ගාවම බුද්ධ ප්‍රතිමාවක් හදනව කියන එක එතරම් තේරුමක් නැති වැඩක්. ඒ වගේම ඊට වියදම් කරන මුදල් ඊට වඩා බොහෝ කුසල් සහ පින් වැඩෙන දේකට යොදන්න පුළුවන් නම් තමයි ‍හොඳ.
‘ඒ මල්ලි හරිම ශ්‍රද්ධාවෙන් නේ ද ඉන්නෙ.’
“මං හිතන්නෙ ඕකට හරි යන වචනය තමයි භක්තිය.”
‘මං මේ අහන්ත් කියල හිටියෙ… ඇත්තටම ඔය භක්තිය කියන එකයි ශ්‍රද්ධාව කියන එකයි අතර වෙනස මොකද්ද?’
‘මට දැනෙන විදිහට, වැටහෙන විදිහට, ඔය වෙනස එන්නෙ මෙහෙමයි.’
අයියා මලෝ දෙන්නා තේ කෝප්ප දෙක පැත්කට කළා. එකෙක් පැහැදිලි කරන්න. අනෙකා අහගෙන ඉන්න.
‘ශ්‍රද්ධාව කියන දේ ඇති වෙන්නෙ අවබෝධයෙන්. උදාහරණයක් කිව්වොත් බුදු ගුණ මෙනෙහි කරන කොට අපි කියනවනෙ බුදුරජාණන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක කියල. ඉතින් ඕක බොහෝ වෙලාවට කෙරෙන්නෙ ගිරව වගේ මන්තරය ජප කරන එකනෙ. දැන් හිතන්න අපි පොඩි ළමයි වගේ බෝනික්කො එක්ක සෙල්ලම් කාර් එක්ක සෙලලම් කරන්නෙ නැහැ. ඇයි ඒ? මොකද අපි දන්නව එතන තියෙන්නෙ වැඩිහිටි බාසාවෙන්ම කියනව නමි මායාවක් කියල. ඔතනින් ටිකක් එහාට ගිහින් අපි ගනිමු යම් මානසික තලයකට පැමිණි පුද්ගලයෙකු. සාන්තුවරයෙක් කියමුකො. ඇයි එයා සමජයේ සම්මත වැරදි වැඩ කරන්නෙ නැත්තෙ? මොකද එයාට ඊට වඩා රසවත් දෙයක් තියෙනව. එයාට බිබී යාළුවො එක්ක පල් හෑලි කතා කර කර ඉන්නවට වඩා රසවත් භාවනාවෙන් සමාධිතලයට ගිහින් ඉන්න එක.’
“මට මතක් වෙන්නෙ බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ කියපු කියමනක්. මෙඩිටේෂන් ඉස් බෙටර් දෑන් සෙක්ස් කියල. ඉතින් ඔයාගෙ කතාව කියන්නකො.”
‘අන්න හරි. ඔයා නියම තැනට අාවා. ඔන්න ඔය කියන තැනට පොඩිත්තක් හරි අපි ළඟා වෙලා ඊළඟට බුදුහිමියන් ගැන හිතන්න පටන් ගන්නවා. ඇත්ත නේන්නම් මට මෙහෙම නම් ලොවුතුරා බුදුහිමියනට කොහොම ඇත්ද? රහසින් වත් පව් කරන්නෙ නැත්තෙ ආය කාටවත් බයේ වත් කවුරුත් දකීවි කියල ලැජ්ජාවෙන් වත් නෙවෙයිනෙ. ඒ පවටවත් පිනටවත් කිසිම අෑලීමක් නැති හින්ද නේද කියල හිතෙන්න පටන් ගන්නව. එතකොට අාන්න බුදුහිමියන් ගැන පුංචි අවබෝධයක් ඇත වෙනව. එහෙම නැතිව භක්තිය තියෙන කෙනාට හිතෙන්නෙ ඔය කිව්වට බුදුහාමුදුරුවොත් හීනියට අඩියක් ගහන්න ඇති කියල. එහෙමත් නැත්නම් නොපෙනෙන ලෝකය ගැන විස්වාසයක් තියෙන කෙනෙක් හිතන්නෙ දේවතාවන්ට බ්‍රහ්මයින්ට පෙනේවි කියල බයෙන් ලැජ්ජාවෙන් බුදුහිමියන් පව් කරන්න නැතිව ඇති කියල. ඒත් ශ්‍රද්ධාව තියෙන කෙනා බුදුහිමියන්ගේ අරහං ගුණය ගැන පුංචි අවබෝධයක් ඇති කර ගෙන ඉන්නෙ. ඒ ශ්‍රද්ධාව භක්තිය වගේ කෙනෙක්ට වට්ටන්න බැහැ.’