Saturday, January 3, 2015

ඒ සුවඳ කුමක්ද?

අත්දැකීම් ස්වකීය පරකීය වශයෙන් දෙයාකාර බව අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් මේ පරකීය අත්දැකීම් හරිම විවිධාකාරයි. අපි නිරතුරුවම ඇසුරු කරන පිරිසත්, ඒ වගේම ඔවුන්ගේ හිතවතුන් ගැන අප සමග බෙදා හදාගන්නා තොරතුරු, වශයෙන් එ්වා දෙකට බෙදන්නත් පුළුවන්. එ් නිසාම කිසිම දිනෙක ඇහැට නොදැකපු පුද්ගලයන් ගැන රසවත් කතන්දර අපිට අහන්න ලැබෙනවා.

සමරනායක ආච්චි කියන්නේ මම කවදාවත් දැකපු කෙනෙක් නොවේ. ඒත් ඇය ගැන අහන්න ලැබුණු එක එක කතන්දර වලට මම ඇලුම් කළා.

මුලු ජීවිත කාලෙටම ඇය විවාහයක් කරගත්තෙ නැහැ. මගේ සොහොයුරා කී පරිදි ඇය ගත කලේ රහසින් වත් පවු නොකරන ජීවිතයක්. ඔහු නිතර සඳහන් කරන අපේ ගේ මැදින් දිවෙන දේවපාදය ගැන ඇති වන කතාබහක දී සමරනායක ආච්චි සිහිපත් කරන්නට මගේ සොහොයුරා අමතක කරන්නෙ නැහැ.

මේ ඔහු කී කතාවක්.

අපෙ පුංචි, ඒ කියන්නෙ අම්මගෙ බාලම නංගි, විවාහ වෙන්න කලින් කාලයක් අපෙ ගෙදර නැවතිලා ඉඳල තියෙනවා. සමරනායක ආච්චිගෙ ගෙදර තිබුණේ අල්ලපු වැටේ නිසා පුංචි නිතරම වාගේ එහෙ යන්න එන්න පුරුදු වෙලා හිටියා. දවසක් මොකක්ද වැඩකට පුංචි එහෙට ගිහින් තියෙනවා. ගෙදර කවුරුත් ඉඳල නැහැ.

නිකමට වගේ බුදු කුටියට ඇවිදගෙන යනකොට ඉබේම දොරවල් ඇරිලා. පුංචි හිතල තියෙන්නෙ හුලඟට කියල. ඉතින් ඇතුළට යනකොට අමුතු සුවඳක් ඇවිල්ල තියෙනවා.

ඒක හරිම අපූරු සුවඳක්. පුංචි ඒත් බලල තියෙන්නේ හඳුන්කූරක්වත් පත්තු කරල තියෙනවද කියලා. කිසිම හඳුන්කූරක් පත්තු කරල තිබුනේ නැහැ. අදටත් එ් සුවඳ කුමක්ද කියා ප‍්‍රශ්ණයක්. එ්කට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඈතින් හමා ආපු සුවඳක් කියලත්.

කොහොම වුණත් එ් සුවඳ ඊට පස්සෙත් ආවා කියල තමයි මට මතකයි විදිහට සොහොයුරා කිව්වේ. ඊට සමාන සුවඳක් දේව පාදය දිවෙන සේපාලිකා ගහ ළඟින් ?ට ?ට හමනවා කියලයි ඔහු කියන්නෙ. එ් සුවඳ හැමදාම අත්විඳින්න පුළුවන් සුවඳකුත් නෙවෙයි හැබැයි.

Thursday, December 25, 2014

මම දැක්කා ඔබ කුමාරයෙක් වගේ...

ඔහුගේ දුරකථනයට පණිවුඩයක් ආවා. ඔහුගේ සොහොයුරාගෙන්.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

ඔහුගේ සොහොයුරා ඔහු දැක තිබුණේ සිහිනෙන් නොවේ. මොහොතකට පෙර ඔහුගේ රුව ඔහුගේ සොහොයුරාගේ සිත්හි මැවී නොපෙනී ගොස්. මෙවන් සිදුවීම් අපට අහන්නට ලැබෙන්නේ ජීවතුන් අතර සිට මලවුන් අතරට ගිය උදවිය ගැනයි. එ්ත් මේ කතාව ජීවමානව සිටින, දේශසීමාවෙන් පමණක් වෙන් වුණු, පුද්ගලයන් දෙදෙනෙකු ගැනයි. අරුමය ඇත්තේ මෙතැන පමණක් නොවේ.

මගේ මිතුරාගේ සොහොයුරාට ඔහුව මනැසින් හදිසියේම පෙනෙන්නට හේතුව කුමක් විය හැකි ද? මගේ මිතුරා එය පැහැදිළි කළා.

”ඔහු දුරකථන පණිවුඩය එවන්නට මොහොතකට පෙර මම සිටියේ ඉතාමත් ප‍්‍රීතිමත් සිතකින්. මගේ සිත ධ්‍යානගතව තිබුණා කියල කියන්නෙ නැහැ. එ්ත් එ් මිනිත්තුව දෙක හරි මම ගත කළේ ප‍්‍රීතියෙන්.”
මගේ මිතුරා ප‍්‍රීතිය කියන වචනය බරක් ඇතිව භාවිත කරන බව මට හැඟුණා.

”එ් ප‍්‍රීතිය වචන වලට හරවන්න හරි අමාරුයි. එ්ත් ඔබට යම් අදහසක් දිය යුතු නිසා මං හැකි අන්දමින් විස්තර කරන්නම්.”

නිහඬව මම ඔහුට අවධානය යොමු කළා.

”මේ ලෝකේ කිසිම කෙනෙක් සමඟ මගේ ගැටුමක් නැති බව මට එ් මොහොතේ වැටහුණා. කිසිම කෙනෙක් සමඟ, එ් වගේම කිසිම දෙයක් සමඟ. එ් වැටහීමත් සමඟම කියා ගන්න බැරි හැඟීමකින් මාව වෙලා ගත්තා. මම දැනගත්තා එ් තමයි ප‍්‍රීතිය බව. රහ කෑමකින් එ් ප‍්‍රීතිය ලබන්න බැහැ. විශිෂ්ඨ ගණයේ කලා කෘතියකින් වත් එ් ප‍්‍රීතිය ලබන්න බැහැ. තනිකරම සිතින් උපදින එය පීති සම්බොජ්ඣංගයට සමීප බව මට වැටහුණා.

අවට හරි සද්දයි. එ්ත් එ් කිසිම දෙයක් සමඟ කිසිම ගැටීමක් නැතිව මගේ හිත නිස්සද්දවම ප‍්‍රීතිය විඳිමින් හිටියා. හරියට බ‍්‍රහ්ම ලෝකයක ධ්‍යානගතව සිටින බ‍්‍රහ්මයෙක් වගේ. මම හදවතින් සිනාසෙන්නට පටන් ගත්තා එ් ප‍්‍රීතියෙන්.

එ්ත් එ් ප‍්‍රීතිය රැුඳුණේ මිනිත්තුවක හෝ දෙකක කාල පරාසයක් තුළ. ඉන් පසුව එ් හැඟීම ටිකින් ටික අඩු වුණා. ඊට ටිකකට පසුව තමයි මගේ දුරකථනයට මගේ සොයුරා අර පණිවිඩය එවා තිබුණේ.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

Wednesday, June 4, 2014

ඒ මිහිරි තේ කෝප්පය

ඉතා කුඩා දේ දැනෙන විට ජීවිතය දකින්න පුළුවන්. එතැන තමයි ජීවිතය ඇත්තේ. තේ කෝප්පය තොළ ගාන අතර මං ඒ සිතිවිල්ලේ නිමග්න වුණා. මගේ තේකට සීනි නෑ. කිරි නෑ. තේ කොල සමග නැහැවුණු උනු වතුරක ඇත්තේ පුදුමාකාර රසයක්. ඒ රසය සීනි දාපු කිරි තේකකින් ගන්න බැහැ.

ඒ රසය තමයි තේ රසය කියන්නෙ.

මේ අවබෝධයත් එක්ක පෙර නුවු විරූ සතුටකින් මා නැහැවෙන්නට පටන් ගත්තා. මම කොහොමත් තේ වලට පෙරේතයි. සීනි දාපු කිරි තේ හරිම රහයි. ඒත් මට දැන් තේරෙනවා ඉතා කුඩා තේ කොප්පයක රසය කොයි තරම් මිහිරි ද කියල.

කිරි ද සීනි ද නොමැති තේ කොප්පය තොල ගාන අතරේ උණුසුම් තේ මගේ උගුරින් පහලට හෙමින් හෙමින් ඇදී යන අයුරු මම බලා ගෙන හිටියා.

Sunday, March 31, 2013

සරත්ගේ ජරා වැඬේ

”ඔයාට මතකද ඔයාගේ තාත්තා පොඩි කාලේ කරපු ජරා වැඬේ?”
මගේ තුරුලේ හිටි ඇගෙන් මං එහෙම ඇහුවේ යම් අවදානමක් දරාගෙන.
”මොන ජරා වැඬේ ද?”
මං හිතුවා හරි. ඇගේ ස්වරය එතරම් හොඳ නැහැ. ටිකක් තරහ ගිහින් වගේ ඇය කතා කළේ.
”අර අහවලත් එක්ක එකතු වෙලා කරා කියපු වැඬේ.”
මඳ පමණින් විස්තර සමඟ ඇයට කතාව මතක් කළා. ඇගේ මුහුණට නැගුණා සිනහවක්. එ් සමඟම ඈ කතාව කියන්නට පටන් ගත්තා.

සරත් තමයි පන්තියේ හිටපු දඟම ළමයා. පන්තියේ ගුරු මණ්ඩලය කොයි වෙලේත් බයේ හිටියේ ඔහු කුමක් හෝ දඟ වැඩක් කරාවි කියා. එ් තරමටම වසවර්ති මාර වැඩ කළේ. හැබැයි පන්තිභාර ගුරුතුමියට එ් සෙල්ලම් ඇල්ලූවේ නැහැ. හැමදාම වගේ ඇගේ දඬුවමට ලක් වුණා අපේ සරත්.
ඉතින් නිතොර වසවර්ති මාර වැඩ කරපු සරත්ටත් මේ පන්තිභාර ගුරුතුමිය එතරම් ඇල්ලූවේ නැහැ. කොයි මොහොතේ හරි ඇයට පාඩමක් උගන්වන අදිටනක් සරත්ට තිබුණා. ඔහුගේ විවේකි මොහොතක් ගෙවුණේ එ් සඳහා කදිම සැලැස්මක් සිතා ගන්නට.
දවසක් ඔහුට කදිම සැලැස්මක් කල්පනා වුණා.
සිය සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහු තවත් සගයෙකු එකතු කර ගත්තා. එදා වැහිබර හැන්දෑවක්. පාසැලේත් කවුරුත් රැුඳී සිටියේ නැහැ. එ් නිසා සරත්ට සිය සැලසුම ක‍්‍රියාත්මක කරන්න එතරම් අපහසුවක් වුණේ නැහැ. එ්ත් කොයිකටත් සූදානම් සරීරෙන් සිටිය යුතු නිසා, සිය සගයා පන්තිකාමරයේ ෙදාරටුව ළඟ හිටෙව්වා. ඈතින් කවුරුන් හෝ එනවා නම් වහාම ඔහු සංඥවක් දිය යුතු යි.
හරි දැන් ඔක්කොම ලැහැස්තියි.
ඉතින් හෙමින් සැරේ වැහිබර සීතලත් දරාගෙන සරත් සිය යෝධ සැලැස්ම ක‍්‍රියාත්මක කළා. සැලැස්ම අහවර වුණු පසුව ඔහුට මහත් සහනයක් දැනුණා. සිය සගයාත් එකතු කර ගෙන ළඟ කඬේකට ගිහින් කහට කෝප්පයක් බීලා සිය සැලැස්ම සාර්ථක වුණු ප‍්‍රීතිය භුක්ති වින්දා.
පහුවෙනිදාට උදා වුණා. පන්තිභාර ගුරුතුමියත් වෙනදා වාගේම පන්තිකාමරයට පැමිණෙන විට සියලූම ළමයි නැගී සිටියා ‘ආයුබෝවන්’ කියාගෙන. කොහොමින් කොහොම වුණත් සරත්ගේ හිතට එතරම් හරි නැහැ. ටිකක් බයත් වගේ ගතියකුත් දැනුණා.
එ් මුකුත් නොදන්න පන්ති භාර ගුරුතුමිය කලූ ලෑල්ලේ ලියපු යම් දෙයක් මතක් කරන්න ලාච්චුව ඇරල අත ඇතුලට දැම්මා මකනය, එහෙමත් නැත්නම් ඩස්ටරය, එලියට ගන්න. එ්ත් එක්කම වගේ ඈ නඟපු හඬ විලාපයක් ද නැත්නම් වෙන දෙයක් ද කියලා සරත්ට හිතා ගන්න බැරි වුණා. ඔහුගේ කන් බීරි වුණා වගේ දැනුණා.
”කවුද මේ වැඬේ කළේ?”
ළමයි එකිනෙකාගේ මුහුණ දිහා බලන්න වුණා. ගුරුතුමිය කතා කරන්නෙ කුමක් ගැන ද කියල ඔවුන්ට සිතා ගන්නට නොහැකි වුණා. ඇය කතා කළේ තවමත් අත ලාච්චුව ඇතුළේ තියාගෙන. ලාච්චුව ඇතුළෙ කවුරුහරි සතෙක් වත් ද? ගෙම්බෙක් වත් පැනලද? එ්ත් ටික මොහොතකින් සියල්ලන්ටම කාරණය වැටහුණා, ගුරුතුමිය අත එලියට ගත්තට පස්සෙ.
ඇගේ අත අසූචි වලින් නැහැවිලා.
ඊට පස්සෙ කුමක් ද සිදු වුණේ? සරත් අහු වුණා ද? නැත්නම් ඔහුගේ මිතුරා ඔහුව පාවා දුන්නා ද?

මම ඇය දෙස බලා සිටියේ මේ ප‍්‍රශ්න හිතේ තියාගෙන.
”තාත්තා අන්තිමේ දි අහු වුණා. එයාගේ යාලූවා එයාව පාවල දුන්නා.”
”හරි පුදුමයි නේ. පිරිමි ළමයි සාමාන්‍යයෙන් පාවල දෙන්නෙ නැහැ නේ ද?”
මං එහෙම කිව්වේ ඇය මා හා එකඟ නොවෙයි කියා සිතාගෙන.
”එ්ක තමයි. නමුත් කොල්ලො කාලෙ බයටත් ඔය වගේ වැඩ කරනවා මං හිතන්නේ. තාත්තගෙන් අහන්න  ඕන ඊට පස්සෙ මොකද වුණේ කියල.”
ඉන් එහාට අහන්න දෙයක් මට තිබුණේ නැහැ. මං මගේ බිරිඳ දෙස බලා සිටියා.

Saturday, March 16, 2013

සීනුවට ඇරියුම් කිරීම නොහොත් සමාධියෙන් දිවි ගෙවීම

අද වන විට අන්තර්ජාලය කියන්නේ බොහෝ දෙනා සැරිසරන තැනක්. අයහපත් දෙයින් පිරුණු තැනක් ලෙස බොහෝ දෙනා හැඳින්වුවත් අන්තර්ජාලය මගේ ජීවිතයේ මහා වෙනසක් ඇති කළා. මා ප‍්‍රිය කරන මගේ ජීවිතයේ බොහෝ විරුවන් මුලින්ම හමු වූයේ අන්තර්ජාලයේ.
මගේ සගයන් පිටු සකසන අතරතුර අන්තර්ජාලයේ ඉබාගාතේ සැරිසරන විට මට හමු වුණා ලස්සන වෙබ් අඩවියක්.
http://invitingthebell.com නමින් එය හැඳින්වෙනවා.
මා කොතෙකුත් අසා ඇති මගේ ප‍්‍රියතම අජාන් බ‍්‍රහ්මවංසෝ දේශනය, කරදරකාරයින් සමඟ දිවි ගෙවන්නේ කෙසේද, යන්න එහි කැටි කොට තිබෙන්නේ මෙළෙස.
 
එක. ඇදුරන් ලෙස ඔවුන් දැක ගැනීම. ඉවසීමත් කරුණාවත් පරීක්ෂා කළ හැක්කේ ඔවුන් මඟින් පමණයි.
දෙක. ඔවුන් සමඟ ඔබ ගෙවන්නේ ටික වෙලාවයි. වැඩිම වුණොත් පැය ගාණක් වෙයි. එ්ත් ඔවුන්ට ඔවුන් සමඟ දවසම ගත කරන්න වෙනවා. ඔවුන්ට අනුකම්පා කරන්න.
තුන. අනිත්‍යයි කියන දේ මතක තියා ගන්න. හැමදාම ඔවුන් එ් විදිහට ඉන්නෙ නැහැ. එ් නිසා හැමදාම ඔබට එය දරා ගත යුතු වෙන්නෙත් නැහැ.
හතර. ඔවුන්ගේ හොඳ ගතිගුණ ගැන සිහි කරන්න. එ්වා ගැන කියමින් ඔවුන් දිරිමත් කරන්න.
පහ. නිරන්තර කරුණාවෙන් ඔවුන් වෙනස් කරන්න උත්සාහ කරන්න.
හය. යහපත් විවේචනය කියන්නේ හරියට සැන්විච් එකක් වගේ. විවේචනය ඇතුළත් වෙන්න  ඕන අගය කිරීම ඇතුළේ.
හත. එ් මනුස්සයා නරක් වෙන්න ඔබත් හේතු වෙන්න පුළුවන්.
අට. පැත්තකට දාලා පැත්තකට වෙලා ඉන්නවට වඩා, කරදරය ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කරන්න.
නවය. ඔවුන්ව කරදරකාරයන් වෙන්නෙ සමහර විට ඔබ හිතන විදිහ නිසා විය හැකියි.
 

මෙන්න මේකත් කිව යුතු යි. ඉංග‍්‍රීසියෙන් කියවන එක ලේසියි. නමුත් සිංහලට පෙරලනව කියන එක මට එතරම් තේරෙන්නෙ නැති දෙයක්. එ් නිසා මේ කරුණු නවයේ යම් දෙයක් හරි හැටි ලියැවිලා නැති බවක් පේනවා නම්... කමන්න.

හදවතේ හඬ ශබ්ද

හඬ
මට දරා ගන්න බෑ
සියොළගම දැවෙනවා
සියොළගම පෙලෙනවා
මේ කාමමන්දය
සැඩ සුලගක් ද
මහා  ඕඝයක් ද
මට හිතාගන්න බෑ

හඬ
සිහිකරගත යුතු නොවේ ද
බඹසරක මහිම
මෙදිව් තලයේ
සැම ආසා සුන් නුසුන් කොට

හඬ
වීතරාගය වීය වදන
මා මන්මත් කළ පෙර දිනෙක
එහෙත් එහි කිසිදු සොදුරු
බවත් නැත්තේ ය දැන්
දිගු කලකින් නොවිදි
ඒ ආශා ඵලය
මා පෙළයි
මා පෙළයි

හඬ
මේ සියලූ දෑ හැරියේ
පෙර දිනෙක
මහත් තේජෝ බවකින් නොවේ ද
ඒ තේජෝ බවම යි
දැන් වුවත් නුඹ තුළින් දිලෙන්නේ
නිවි නිවී

හඬ
ඒ කාමගින්න උණුසුම් ය
ඒ උණුසුමින් මා පෙළයි
මට සහනයක් වුව මැනවි

හඬ
නුඹ බෝසතෙකි
නුඹට හැක එහි අසුබ බව
සිහි කරගන්න
සිහි කරමින් ම එහි විසුම
නුඹ බෝසතෙකි

හඬ
ඒ උණුසුමින්
මා පෙළයි
මා පෙළයි

හඬ
හදවතින් නැගෙන හඩ
වේය මහ විසල් පවුර
ඒ පවුර මුලින් සුන් කළ යුතු ය
නුඹ වැනි බෝසතුන්

හඬ
මහ විසල් පවුරට
නැග ගන්න
වෙර දරන කුඩා පොව්වෙකි මම්
හසරක් නොදත්

හඬ
කුඩා පොව්වෙකු වුව ද
මහ පවුර තරණය කළ යුතු ය
යම් දිනෙක
සෙස්සන් මහ පවුරෙන් මෙහා
ලොව තුළ ම සැරි සරන කළ
ඔවුන් අතරින් මතු විය යුතු ය
නෙලූම් මෙන්
නුඹ වැනි බෝසතුන්

හඬ
නුඹ වත සෝබාමත් ය
නුඹ සිරුර සරදම් කරයි
නුඹ ඇදුම නෙත් විඩා නිවාලයි
වසර ගණනකට ඉහත
නුඹෙන් විදි ඒ ආශා ඵලය
දැන් ඉතින්
විද ගත යුතු යි
මේ මොහොත
මේ නිමේෂය

හඬ
මේ නොවේ නුඹ තෙපුල්
මහ පුරිස් තෙම
එදා නුඹ මේ දිවිය හැරියේ
මහ තේජෝ බවකින්
නුඹ වැනි
මහ පුගුලන්ට
දිනුම් මිස
පැරදුම උරැුම නොවේ.
 

බිත්තර කටුවක වැඩ හුන් ප‍්‍රාණියා


ධම්මරුචි හිමියන් නැගී සිටියේ හිරු උදාව නැරඹීමට ය. බවුන් වැඞීමට සුදුසුතම මොහොත මේ විය. ගැඹුරු භාවනාවක යෙදී සිටින ධම්මරුචි හිමි සවනත මහත් වේදනාවෙන් කෑගසන හඬක් වැකුණි. 
බිත්තරකටුවක් තුළ දඟලන දාහයෙන් පෙඟුණු කුඩා ප‍්‍රාණියෙකු හිමියන්ට දැක ගත හැකි විය. පතළ විහාරයක යම් කොණක විය මේ බිත්තරකටුව සැඟවී තිබුණේ. ධම්මරුචි තුළ යම් කැළඹුමක් විය. ප‍්‍රාණියා යම් සහනයක් අපේක්ෂාවෙන් සිටින බව උන්වහන්සේට දිස් විණ. බිත්තර කටුව වූ තැනට උන්වහන්සේ වැඩිසේක. එය සෘද්ධි චාරිකාවක් විය.
‘මොකද වුනේ දරුවා?’ සුපුරුදු කාරුණික බවකින් හිමියෝ පිළිවිසීහ.
බිත්තරකටුවෙහි ප‍්‍රාණියා මුව විවර කළ මොහොතෙහිම හමන්නට වුයේ දරාගත නොහැකි දුගඳකි. එය දරාගැනීමට ධම්මරුචිට සිදු විය. එවන් දේ සැබවින්ම උන්වහන්සේට කළ හැකි විය.
‘මම නොමග ගියා හාමුදුරුවනේ.’ ප‍්‍රාණියාගේ පරමාණුවක් බඳු වතෙහි කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. ප‍්‍රාණියාට සිදු වූ දේ ධම්මරුචි හිමියන්ට දිවැසින් ආවර්ජනය කළ හැකි විය. එහෙත් ඒ පවත ප‍්‍රාණියාගේ හඬින් ම අසා දැන ගැනීමට උන්වහන්සේ ප‍්‍රිය කළ සේක.
දසුනින් දසුන සියලූ දෑ ප‍්‍රාණියාට සිහි විය.

පළමු දසුන

විහාරාධිපති හිමියන් සුධර්ම විහාරය පාලනය කළ ආකාරය මහාචාර්ය අමරසේකරට එතරම් රිසි නොවීය. සරල දිවි පෙවෙතක් ගත කළ යුතු වූ නායක හිමිනමක මේ ගෙවනුයේ මහත් සුඛෝපභෝගි දිවියක් නොවෙද?
ඔහු එදින දෙසුමට අදාල පිටපත සකස් කළේ වෙනත් ශෛලියකිනි. ‘බෞද්ධ භික්ෂුවක නොකළ යුතු දෑ’ වීය එහි මාතෘකාව. ‘බුදුදහම සමීපව අධ්‍යයනය කරන කොට පෙනී යන කරුණක් තමා,’ යනුවෙන් අමරසේකර සිය දෙසුම ඇරඹීය, ‘බුදුරදුන් වැඩසිටි සමයේ පවා භෞතික සැපසම්පත් වලට ආසකරපු හාමුදුරුවරු හිටපු බව. තමන්ට හම්බ වෙන හම්බ වෙන හැම භාණ්ඩයක්ම එක් රැුස් කරගැනීමේ පුරුද්දක් තිබුණු හාමුදුරුනමකුත් මේ අතර හිටිය. භාණ්ඩ වලට සෑහෙන්න ආස කරපු නිසා මේ හාමුදුරුවො හැඳින්වුනේ බහුභාණ්ඩික තෙරුන් කියන නමින්. ඉතින් මේ බහුභාණ්ඩික හාමුදුරුවන්ට මොකද වුනේ? අනිත් හාමුදුරුවරු එකතුවෙලා මේ හාමුදුරුවො ගැන බුදුන්වහන්සේට දැනුම් දුන්නා.’
මහාචාර්ය අමරසේකර ඇතුළත වුයේ මහත් දැවීම කි. ඔහුටම එය පසක් කර ගත හැකි වී නම්? අසල වූ වීදුරුවකින් වතුර ස්වල්පයක් පානය කිරීමට ඔහු මඳ විරාමයක් ගත්තේ ය. භික්ෂුන්ගෙන් ද ගිහි උපාධි අපේක්ෂකයින්ගෙන් ද පිරුණු ඒ දේශන ශාලාවෙහි වූයේ ඉමහත් නිහඬතාව කි. පසු පෙළක සිසුන් පිරිසක් නිදි කිරා වැටෙනු අමරසේකරට දිස් නොවී ය.
අද ඉන්න හාමුදුරුගොල්ල මේකෙන් පාඩමක් ඉගෙන ගන්න  ඕන. බොහෝ හාමුදුරුවරු ඉන්නවා හැබැයි ඒගොල්ලො ජීවත් වෙන්නෙ නම් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් වලට අනුව නෙවෙයි. යන්නෙ බෙන්ස් රථ වල. ජීවත් වෙන්නෙ වායු සමීකරණය කරපු පන්සල් වල. මේ සැපසම්පත් විඳින්න නම් මහණ වෙන එකේ ඇති තේරුම මොකක්ද? අද බුද්ධාගම කියන්නේ හොඳට නඩත්තු කරන ව්‍යාපාරයක් මිසක් වෙන මොකක්වත් නෙවෙයි.

දෙවන දසුන
නිවාඩු සමය ගත කිරීම සඳහා ගාල්ලේ වූ සිය බංගලාව දක්වා අමරසේකර රථය පැදවූයේ ය. හමා එන මුහුදුබඩ සුලඟ ඔහුගේ නිර්මාණාත්මක මොහොතක් කුල්මත් කරයි. ඉඳුරුව විහාරයෙහි සාමණේරව ගත කරන සමයක මේ මුහුදු සුලං පහස විඳිමින් යම් නිර්මාණාභ්‍යාසයක යෙදුණා අමරසේකරට තවමත් මතක ය. දැන් ඉතින් ඔහුට අවශ්‍යව ඇත්තේ රුක්බැඳි යහනත් කම්කෙත් පරිගණකයත් පමණි.
මහාචාර්ය අමරසේකර අහවර කරමින් සිටියේ ‘ශ‍්‍රී ලංකාවේ භික්ෂු හැසිරීම’ පිළිබඳ වාර්තාවේ සැටදෙවැනි පිටුව ය. රාජ්‍ය නොවන සමාගම් වලින් දෝත පුරා පුද දීමට සැදී පැහැදී සිටින මුදල් පිළිබඳ මහාචාර්ය අමරසේකර තඹ දොයිතුවකටවත් මායිම් නොකළේ ය. භික්ෂුව දිවිගෙවිය යුත්තේ සැපපහසු ලෙස නොවේ. එපමණකි ඔහුට ඇවැසි වූයේ.
කොළඹ සිට වු සිවු හෝරා චාරිකාව ද මුහුදු සුලඟ ද ඔහු නිදිබර කරවීය. සිවුරෙහි සිටි යටගිය දිනකට ඔහුගේ මනස කෙමෙන් පියමං කළේ ය. පවුලේ පස්වැන්නා ඔහු වූ බැවින් කළ හැකි අන් කිසිදු දෙයක් නොවී ය. නායක හිමියන් ඔහු හදා වඩා ගත්තේ සුළු සුළු රැුකියාවල යෙදුණු ඔහුගේ පියා පිළිබඳ අනුකම්පාවකිනි.
‘කොලූවා හරි දස්සයා.’ ඔහුගේ ගුරුවරයා නිබඳ තෙපළු වදනකි ඒ. මහණ දිවියෙහි සැම දුක් කම්කටොල්ලක්ම අමරසේකර විඳ දරාගත්තේ ය. මේ උකටලි බවින් ගොඩ ඒමක් ඔහුට අවශ්‍ය විය. සරසවි වරම් ලැබ ගැනුම සඳහා බොහෝ වෙර වෑයමින් ඔහු සියලූ දෑ වනපොත් කළේ එබැවිනි. බුදුදහමත් ඉංගී‍්‍රසියත් එකවර අධ්‍යයනය කළ හෙයින් යම් වාසනාවක් පෑදිණ. සුඛවිහරණ දිවියක් ඔහු ඉදිරියේ දිස් විය.
කම්කෙත් පරිගණකයට විවේක ගන්නට ඉඩ හැරි අමරසේකර සිය සිතිවිලි ලොවෙහි කිමිදෙන්නට විය. මඳ මොහොතකින් ඔහු වුයේ මහ නින්දක ය.

තෙවන දසුන
පූජ්‍ය ගලගම ඥානින්ද හිමියෝ මහාචාර්ය අමරසේකරගේ යම් කළෙක සමීපතම සගයා වූහ. හුදෙකලා මොහොතක උන්වහන්සේ පිළිබඳ අමරසේකර තුළ වූයේ වදනින් කිව නොහැකි යම් මාත්සර්ය්‍යකි. ඉදිරිය කෙතරම් පබසර වුවත් ඥානින්ද හිමියන් නොවේ සිවුරු හැරියේ. දැනුමින් පතල හිමිනමක සේ පරසිදු වීම නිසාම උන්වහන්සේට නෙක සැප සම්පත් විය.
හිමිනමගේ මනස්කාන්ත රූපකාය සමඟ යම් රහසිගත පෙම් සබඳතාවක් යා කොට කටකතාවක් පැතිරීමට වරක් අමරසේකර තැත් කළේ ය. ඥානින්ද හිමියන්ගේ වියැපැහැදම් පිළිබඳ නඩු විභාගයක් පැවැත්වීමට වරෙක අමරසේකර ඉල්ලා සිටියත් බලධාරින් හිමියන්ට යම් සාධාරණ බවක් දැක්වූහ.
සියලූ දෑ තවත් වහකදුරු සේ වූයේ ඥානින්ද විහාරාධිපති හිමියන් වූ අනතුරුව ය.
සිවුවන දසුන
කුමක් හෝ කළ යුතු ය, සිය අතැඟිලිතර දැවටුණු ස්කොච් වීදුරුව දෙස බලමින් අමරසේකර සිතුවේ ය. එක්කො ඥානින්ද නැත්නම් මේ අමරසේකර. සිය පැරණි සගයාට කුමක් හෝ කරන තෙක් ඔහුගේ මනසට විවේකයක් නොවී ය.
තවත් අයිස් කැට කිහිපයක් සඳහා ශීතකරණය වෙත ගිය ඔහුට පසෙකින් තබන ලද කුණු බිත්තරයක් දිස් විය. එවිටම යම් දෙයක් ඔහුගේ මනසෙහි ඇඳී ගියේ ය. හරි, ඔහුට සිතිණ. එහෙත් අඳුර තෙක් ඔහුට බලා සිටීමට සිදු විය. එතෙක් අනෙකුත් දේ ගැන සොයා බැලිය යුතු ය. පෙනුම වසන් කිරීමට නම් රෙදි හිස්වැසුමක්  හා කබායක් පමණ විය.
රාත‍්‍රී එකොලහේ කණිසම වැදුණු මොහොත එය විය. මාවත දිස් වූයේ පාළුවටම ගිය කතරක් සේ ය. අමරසේකර සිය ගමන ඇරඹී ය. වෙහෙර අසබඩ කිසිදු සරන්නෙකු නොවූ හෙයින් ඔහු සිත්හි යම් සැනහුමක් විය. කුඩා පවුර මතින් වෙහෙර බිමට බට මහාචාර්ය අමරසේකර නායක හිමියන්ගේ කුටිය අසල වූ විහාර ගෙය දක්වා පියමං කළේ ය. සැක සංකා ඔහු සිත පෙලන්නට විය. එහෙත් මෙය තව මොහොතකට කල් දැමිය නොහැකි දෙයකි. ඔහුගේ දෑත් යුහුසුළුව ඇවැසි කාර්යයේ නියැලිනි.
මොහොතකින් කුණු වූ බිත්තරය කැබලි විය. කැබලි කැබිලිති වී විහාරගෙයි බිම මත ඉසිරිණ.
ඔහුගේ ප‍්‍රීතියට නිම් හිම් නැති විය. ගන්ධය නම් දරාගත නොහැකිවූවක්ම විය. අමරසේකරට එහි කිසිදු බාධාවක් නොවී ය. විහාරයට අමනුස්ස බැල්ම වැටී ඇතැයි දැන් ඉතින් දායකයන් සිතනු ඇත. සදහටම ඔවුන් මේ විහාරය හැර යනු ඇත. කණගාටුයි ඥානින්ද නමුත් මේ දේ නම් නුඹට කළ යුතුවම තිබූ දෙයක්. විහාරයෙන් පිටතට පැමිණීම අමරසේකරට එතරම් අපහසු නොවී ය.

පස්වන දසුන
අමරසේකරගේ අසල්වැසි දියණිය ලැහැස්ති වෙමින් සිටියේ පසුදිනෙක විනෝද චාරිකාවක යෑමට ය. මැදියම තෙක් දියණිය ද මව ද අවදි වී බිත්තර සැන්ඞ්විච් පිළියෙල කරමින් සිටියහ. දියණියට යම් දුර්ගන්ධයක් දැනිණ. එවිටය පසෙක වූ දුර්වර්ණ වූ බිත්තරය දැක ගත හැකි වූයේ.
‘මං හිතන්නෙ අම්මෙ මේක නරක් වෙලා. ටිකක් ඉඹල බලන්න.’
‘මොනව ඉඹින්නද ළමයො. ඔන්න  ඕක විසි කරල දාන්න. මේන් තව නරක් වෙච්ච එකක් තියෙනව. දෙකම විසිකරල දාන්න. නගර සභාවෙ මිනිස්සු මෑන්හෝල් එක ඇරල පොඩි රෙපයාර් එකකට. ඒක නිසා ප‍්‍රශ්නයක් නැහැ ඔය බිත්තර ටික කොහොමත් මෑන් හෝල් එක ඇතුලට වැටෙන එකනෙ.’
ඇඹුල් වූ මුහුණින් දියණිය කවුළුවෙන් එලියට බිත්තර දෙක විසි කළා ය. එහෙත් ඇයගේ ඉලක්කය වෙනතක වූ බව ඇයට නොවැටහිණ. බිත්තර පතිත වූයේ මනුබිල තුළට නොවන බව ඇයට නොදිස් විය.
සවන දසුන
බිත්තර පහරකට ලක් වීම අමරසේකර තුන් හිතකින්වත් සිතු දෙයක් නොවිය. මොන ලෝකෙන්ද මේ බිත්තර ආවේ? එය කෙතෙක් නරක් වී ද යත්, ඉන් ඔහුගේ දෑස් පවා වැසී ගියේ ය. උපකාරයක් ඉල්ලීමටවත් කෙනෙකු අසලක නැති සෙය කි. මහ රැුයක ඔහු නිරතව සිටින කාර්යය කුමක් දැයි ඒ කවරෙකු හෝ තුළ සැක මතු වීම සාධාරණ ය.
සිය ඊලඟ පියවර ඔහුගේ ඉරණම විය. යම් වළකට ඇදගෙන වැටෙනු ඔහුට දැනින. එය ලිස්සන සුළු මෙන්ම මහ දුගඳකින් ද යුතු විය. ජීවිතයේ පළමු වතාවට මරණ බිය ඔහුට දැනිණ. එහෙත් දෑස් වැසුණු පළියට හෝ වළක වැටුණු පළියට කෙනෙකු මිය යා ද? නැත, එවන් දෙයක් සිදු වීම අභව්‍ය ය. සැබවින්ම අභව්‍ය ය. 
එහෙත් ඒ වළ නම් බොහෝ ලිස්සන සුලූ විය. එය මිනිස් ග‍්‍රහණයකට පවා නතු නොවී ය. වළ තුළ වූ ජල කඳ අමරසේකරගේ පපු පෙදෙස දක්වා විය. වෙවුලමින් සිටි තමා කෙතරම් ගැඹුරක සිටින්නේ ද යන අදහසක් අමරසේකරට නොවී ය. ගල්ගැසුණාක් සේ ඔහු සිටියේ සිටගෙනම ය. ඔහුට කළ හැකි කිසිවක් නොවී ය. වන්නාට වන දෙයක් වෙවයි කියා හඬ තැලූවා නම් යැයි ඔහුට සිතිණ. එහෙත් කිසිවෙකුට ඔහු නෑසෙනු ඇත. නගර සභා සේවකයින් ද අසබඩක සිටියේ නැත.
ඇතැම් විට ඔවුන් එන තෙක් මඳ නින්දක නිරත වීම මැනැවැයි ඔහුට සිතිණ. මහ රැුයක දිවා සිහින දැකීම හැර වෙන කුනම් නම් දෙයක් ඔහුට කළ හැකි ද? සිහිනයක දුටු දෙයකින් ඔහු ආහ්ලාදයට පත් විය. විහාරාධිපති පූජ්‍ය ගලගම ඥානින්දගේ හිස ගසා දමන ලෙස ආඥාවක් කළ මහා රාජෝත්තමයා ඔහු විය. ඔහු මහ හඩින් හිනැහෙන්නට විය. දැන් ඉතින් තමන්ට තවදුරටත් බාධා කිරීමට ඥානින්දට නොහැක. 
එය කෙතරම් ගැඹුරු නින්දක් ද කිවහොත් ඉන් නැවත අමරසේකර අවදි නොවූයේ ය.

මතුබවට පිවිසීම
සිය සොව අසා සිටීමට කවුරුන් හෝ සිටීම බිත්තර කටුවේ ප‍්‍රාණියාට සැනිසිලිදායක විය. එහෙත් ඒ සතුට කොතරම් මොහොතක් පවතී ද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.
‘ඒ වගේ වැඩක් නොකර ඉන්නයි තිබුණේ දරුවා. බොහෝ සැපසම්පත් එක්ක ජීවත්වෙන ඇතැම් හාමුදුරුවරු සීලවන්තයි. උන්වහන්සේ ජීවත්වෙන විදිහ බලල අපිට තීරණ ගන්න බැහැ.’ ධම්මරුචි හිමියෝ පැවසූහ.
‘මං දන්නව හාමුදුරුවනේ. මගේ හැඟීම්වලම දාසයෙක් වුණා මං.’
‘ඔය දරුව මහණ ජීවිතයේ සෑහෙන පින්දහම් කරල තියෙන කෙනෙක් බව මට පේනවා. හැබැයි ඉතින් මේ බිත්තර කටුව ඇතුලේ තව බොහෝ කලක් ඉන්නත් සිද්ධ වෙනවා. ඒත් හිත කරදර කරගන්න එපා. ඔය දරුව ඊලඟට උපත ලබන්නේ හොඳ අත්බවක.’
ජීවිතය ද බිත්තරකටුවක ගමනකට සම කළ හැකි නොවෙද? කිසිවෙකුට පිරිපතක් නොපැතිය යුතු චාරිකාව කි ඒ. කිසිවෙකුට සොයා ගත නොහැකි ලෙස ධම්මරුචි හිමියෝ බිත්තර කටුව යම් තැනක තැන්පත් කළහ. පූජාසනයේ වූ පුවත්පතක පත්ඉරුවක් ඔහුට දිස් විය. එහි වූයේ හුුරුපුරුදු අයෙකුගේ රුවකි. හිරු එලිය ඒ පත් ඉරුව ස්පර්ශ කළේ හිමියන්ට සුපැහැදිලි ලෙස එහිවු පුවතක් කියැවීමට ය.
ඊයේ උදෑසන විවෘතව තිබූ මනුබිලක වූ මහාචාර්ය අමරසේකරගේ ප‍්‍රාණය නිරුද්ධ දේහය නගර සභා සේවකයින් විසින් සොයා ගන්නා ලදි. මහාචාර්ය අමරසේකර රාත‍්‍රි විවේක ගමනක යෙදෙන අතර මනුබිල තුලට ඇද වැටී ඒ ඛේදනීය සිදුවීමට මුහුණ දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. රාත‍්‍රි කාලයේ වූව මනුබිලක් විවෘතව නොතබන ලෙස නගර සභා බලධාරින් විසින් සේවකයන්ට හට උපදෙස් දෙනු ලැබ ඇතැයි වාර්තා වේ.