Tuesday, January 15, 2019

වින්දිතයාගේ කටඋත්තරය



"ඊයේ හම්බන්තොටදී පැවති වරාය සහ ගුවන්තොටුපොළ අලෙවි කිරීමට එරෙහි ඒකාබද්ධ විපක්ෂ උද්ඝෝෂණය අධිකරණ නියෝග නොතකමින් පැවැත්වූ නිසා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර විසුරුවා හැරිය අතර 26 දෙනෙකු අත්අඩංගුවටද ගන්නා ලදි. මෙම උද්ඝෝෂණය අතරදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උද්ඝෝෂණයේ නිරත පුද්ගලයෙකුට පහරක් එල්ල කරන අවස්ථාවක් වීඩියෝවට නැගී තිබෙන අතර...."

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට පහර එල්ල කිරීම ඉතා බරපතල කාරණයක් ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංගම් නිගමනය කළා. ඒ සඳහා පුළුල් පරීක්ෂණ ඇරඹිය යුතු බව නොයෙකුත් සිවිල් සංවිධාන අවධාරණය කළා. ඒ පුවත සටහන් වුණු පුවත්පත දෙකට නවා පසෙක ලූ තරුණ පොලිස් නිලදරුවා කටඋත්තර පොතද පෑනද රැගෙන සිය ජංගම දුරකථනයේ රෙකෝඩරයද ක්‍රියාත්මක කළේ වින්දිතයාගේ එකදු වදනක් හෝ මඟ නොහරින අටියෙන්.
වින්දිතයා සිය කටඋත්තරය ඇරඹුවා.

රාළහාමිට මං මේ කියන දේ කොයිතරම් ප‍්‍රයෝජනවත් වෙයිද දන්නෙ නැහැ. ඒත් මං කියන්නේ මං අත්දැකපු දේ මිසක් ඉන් එහා කිසිම දෙයක් නෙවෙයි.  ඔය කියන දවසේ තිබුණු  උද්ඝෝෂණේට අපි ලකලැහැස්ති වෙමින් සිටියේ දවස් කීපෙක ඉඳන්. මං සම්බන්ධ වුණේ ටික දවසකට ඉස්සෙල්ල. මුලදි මුලදි මට එච්චර කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් ඉතින් සෑහෙන කල්පනා කරල බලල, රට වෙනුවෙන් මොනව හරි කරන්න ඕන කියල හිතුණා. අනික අපේ විශ්වවිද්යාලෙ මගෙ යාළුවො එක්ක කතා කරන කරන හැම වෙලාවකම මට මේ ආණ්ඩුව ගැන පුදුම තරහක්, වෛරයක්, ඇති වෙලා තිබුණෙ. කිසි කමකට නැති තුප්පහි ආණ්ඩුවක් කියල හිතුණු වාර අනන්තයි.
මේ තුච්ඡ තුප්පහි ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කියල හිතාගෙන තමයි මමත් පාරට බැස්සෙ. මේ ආණ්ඩුව ගෙදර යවනකන්ම අපි පාරට බැහැල සටන් කරනව කියන ඒ සිතිවිල්ල මටත් තිබුණා.
ඔය කියන දවසෙ පාන්දර තද නින්දෙ ඉන්න අතරෙ මං හීනෙන් දැක්ක සුදු පාට ඇඳුමකින් සැරසුණු හරිම ශෝභාමත් මනුස්සයෙක්. සීයා කෙනෙක් වගේ කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම සුදුයි. ඒ ඇස් දෙක හරිම කාන්තිමත්. හරියට හිතේ තියෙන හැම දෙයක්ම ඒ සීයාට කියල හිත හදාගන්න පුළුවන් වගේ හැගීමක් මට ආවා. ඒ සීයා මං දිහාවට නැමිල කියපු වචන ටික මට තාම මතකයි. සමාව දෙන්න පුතා. එතකොටයි ආනන්දය ලැබෙන්නෙ. එතකොටයි ශාන්තිය ලැබෙන්නෙ. එතකොටයි ශක්තිය ලැබෙන්නෙ.
එතකොටම තමයි කස්සා ඇවිත් මාව කීද්දුවේ. කස්සා කිව්වෙ මගේ රූමා. ඒ කියන්නෙ මාත් එක්ක එකට බෝඩිමේ ඉන්න සගයා. නැගිටල ලැහැස්ති වෙනගමනුත් අර වචන ටික මගේ හිතේ රැව් පිලිරැව් දෙන්න පටන් ගත්තා. මොකක් ගැන වෙන්නැති ද ඒ මනුස්සයා කිව්වෙ?
මං පොඩි කාලෙ ඉස්කෝලෙ යද්දි පොතක කියවපු සූත‍්‍රයක් මතක් වුණා. මට මතක විදිහට ඒ සූත්‍රයේ නම කකචූපම සූත්‍රය. බොහොම දිග සූත‍්‍රයක්. හිතට එන තරහ ගැන තමයි ඒ සුත‍්‍රයේ කියන්නෙ. රාලහාමිටත් එක්ක හොඳයි ඒක දැනගන්න එක. ඉතින් මේ සූත‍්‍රයේ බුදුහාමුදුරුවො කියනවා කවුරුහරි හොරෙක් එහෙමත් නැත්නම් මංකොල්ලකාරයෙක් ඇවිත් කියතකින් අපේ ශරීර අවයව කපල දානව නම්, ඒ ඩිංගට හරි අපි ඒ මිනිස්සු ගැන තරහක් ද්වේෂයක් උපදවනව නම් එතනදි අපි උන්වහන්සේගේ අනුශාසනය බැහැර කරනව කියල. අන්න ඒ වෙලාවෙ බුදුහාමුදුරුවන් අපිට දේශනා කරන්නේ තමන්ගේ ශරීර අවයව කියතකින් කපන වෙලාවෙත් ඒ හොරු මංකොල්ලකරුවන් කෙරෙහි මෙත් සිත පතුරුවන්න පුළුවන්නම් තරහ සිත් නැතිව ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරුවො ඒ සිත සමාන කරන්නේ බලල් සමකින් හදපු පසුම්බියකට. එහෙම පසුම්බි නම් මං දැකල නැහැ. ඒත් මට හිතෙනව ඒ පසුම්බිය හරිම සුමුදුවට ඇතියි කියල. ඉතින් මේ සූත‍්‍රය මට ඒ වෙලාවෙ මතක් වුණා.
ඇත්තම කිව්වොත් මං කියවපු බොහොම සූත්‍ර මට ඒ තරමට ⁣තේරුණේ නැහැ. ඒත් මේ සූත්‍රය මගේ හිත් ගත්තා. ඇත්තටම එහෙම හිතකින් ඉන්න පුළුවන් මිනිස් පිරිසක් මේ මිහිතලය මත ඉන්නවද කියල මට නිකමට හිතුණා. හිටියත් නැතත් අඩුම තරමින් මටවත් ඒ වගේ වෙන්න පුළුවන්නම් කියල හිතුණා.
උද්ඝෝෂණය තියෙන දිහාවට අපි යමින් ඉන්න වෙලාවෙ මගේ හිතේ තෙරපි තෙරපි තිබුණේ ඔන්න ඔය සිතිවිලි ටික.
මට මතකයි ඒ වෙලාවෙ අපි පල්ලියක් පහු කරමින් හිටියෙ. ඉස්සරහ තිබුණු ජේසු පිළිරුව දකිනකොට මට හිතුණෙ අනේ ඉතින් මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක් නේ ද කියල. කල්වාරි ගිරිසිරසට යන ගමනේදි ජේසුස් වහන්සේට කොයිතරම් නම් වද දෙන්න ඇත්ද? ඒ වද දුන්නු නපුරු මිනිස්සුන්ට උන්වහන්සේ සමාව දුන්නේ කොයිතරම් නම් අපරිමිත දයාවකින්ද කියල මට හිතුණා. කුරුසියේ ඇණගසන්නට දායක වුණු මිනිසුන්ට මෙත් සිත පතුරුවපු ශාස්තෲවරයෙක් නේද මේ කියල මට ආයෙමත් හිතුණා.
රාළහාමි ඉතින් විස්වාස කරයි ද දන්නෙ නැහැ. හරියටම අන්න ඒ වෙලාවෙ මං දැක්කා ජේසු පිලිරුව මාත් එක්ක හිනාවෙනවා. හරියට මගේ හිත කියවල වගේ. තව කිලෝමීටර් කීපයක් යන කොට අපිට පන්සලක් හමු වුණා. ඉස්සරහම දැවැන්ත බුදු රුවක්. ටිකක් විතර අවුකන පිලිමයට සමානයි.
තමන්වහන්සේගෙ නෑදෑයො ටික එකතු වෙලා ශාක්‍ය කෝලිය යුද්ධය කරන කොට බුදු හිමියන් හිනා පහල කළා කියල රාලහාමිත් අහල ඇතිනෙ. අපි පසුකරමින් හිටපු බුදු පිලිමේ යන්තම් රැඳුණු හිනාව මට මතක් කළේ ඒ කතාව.
උද්ඝෝෂනයේ ගමන් කළාට මගේ හිතේ එක විදිහක පෙරලියක් ඇති වෙනව කියල මට දැනුණා. තුච්ඡයි තුප්පහියි කියන මේ ආණ්ඩුවට සමාව දෙන්න ඕන කියල මට හිතුණා. අනික ඇයි මං මේ ආණ්ඩුව ගැන ඒ තරම් වෛරයක් ඇති කරගෙන ඉන්නෙ. ඒ ආණ්ඩුවෙත් ඉන්නෙ අසරණ වුණු මිනිස්සු ටිකක් නේද කියල මට හිතණා. මේ සසර දනව්වේ මරුවැලක පැටලි පැටලී අසරණ වෙලා යන පිරිසක් නේද කියල මට හිතෙන්න පටන් ගත්තා. රාලහාමි කියවල තියෙනවද දන්නෙ නැහැ පරාක‍්‍රම කොඩිතුවක්කු මහත්තයාගේ රශ්මි කියන පොත. ඒකෙ තියෙනව එක කවියක් මිනිසත් බව තුළ ඇති බොල් සිදුරක් තුළ පැකිල වැතෙත්මය සිත නොදරුන් ලෙස කියල.
කියවල තිබුණෙ නැතත් කමක් නැහැ. ඉතින් ඔන්න ඔහොම හිතමින් ඉන්න වෙලාවෙ තමයි රාළහාමි, පොලිසියේ කට්ටිය අපේ සාමකාමි පාගමනට බාධා කරන්න පටන් ගත්තේ. ඒ ක්ෂණයේ මගේ හිතට ආයෙමත් තරහක් ආවා මේ කාලකන්නි හැත්ත ආවා මෙතන කියල. ඒත් ඒ එක්කම මට හිතුණා අනේ මගේ හිතේ තිබුණු නිවී සැනහුණු සොබාව නැතිවෙලා ගියා නේද කියල. රාළහාමි අහල ඇතිනෙ තොවිල්පලවල් වල ඉන්න ආතුරයෝ. අන්න ඒ ආතුරයෙක් වගේ ගතියක් මට දැනෙන්න ගත්තා. ඉතින් මට ඕන වුණේ හැකි ඉක්මනට අනාතුර වෙන්න. ඒ වෙලාවේ මගේ හිත කොච්චර නිවී හැනහිලා තිබුණද කියන එක දන්නෙ මං විතරයි. ඒ සැනහුණු නිම්නය මට පෙනි පෙනී නැතිව ගියා ⁣වගේ දැනුණා. මේ කාලකන්නි හැත්ත කියන සිතිවිල්ල මගේ හිතේ පස්සකට වුණා. ඉතින් මං ආයෙමත් අර සිතිවිලි ලෝකෙ සැරි සරමින් තමයි පා ගමනේ ගියේ. ඇත්තම කිව්වොත් මට පොලිසිය ගැන ඇති වුණේ අනුකම්පාවක්. කවුරුහරි තවත් කෙනෙකුගේ විධානයකට මේ මිනිස්සු කොයිතරම් නම් හිත, කය, වචනය කියන එක අපිරිසිදු කරගන්නවද කියල මට හිතෙන්න පටන් ගත්තා. මේ මිනිස්සු පවු නේද කියල හිතෙන්න පටන් ගත්තා.
ඔන්න ඔය වෙලාවෙ තමයි මං ගාවට රාලහාමිලා දෙන්නෙක් ඇවිත් තදින් මගේ අත් දෙකෙන් අල්ල ගත්තේ. ඒ අල්ල ගත්ත වෙලාවෙ මට ආයෙමත් මතක් වුණේ අර කියතේ කතාව. නෑ මං මේ දෙන්නට වෛර කරන්නෙ නැහැ කියල මං හිතාගත්තා.
ඒගොල්ලො මොනවද මට කියනව ඇහුණා. ඒ ඇහුණත් මං අවට ලෝකයට ඒ තරම් අවධානයක් දුන්නෙ නැහැ. මට ඕන වුණේ මගේම සිතිවිලි නිමනයේ හුදෙකලාව සැරිසරන්නට.
ඔය වෙලාවෙ තමයි අර මහත රාළහාමි ඇවිත් මගේ කම්මුලට පාරක් ගැහුවෙ. මං කෙට්ටු නිසා මට ඒ කම්මුල් පාර සැරට වැදුණා. මම අර කියතේ කතාව සිහි කරමින් හිටපු නිසා වෙන්නැති මට පොඩ්ඩක්වත් වත් ඒ පහර රිදුම් දුන්නෙ නැහැ. මට ඒ මහත රාළහාමි ගැන පොඩ්ඩක්වත් තරහක් දැනුණෙත් නැහැ. වෙඩි පහරකින් මගේ හිස සුන්නද්දූලි කර දැමුවත්, ඒ නිසා මගේ කය බිඳීමකට ලක් වුණත්, මගේ මෙත් සිත විනාස වෙන්න දෙන්නෙ නැහැ කියන තිර අදිටනින් මම හිටියා. මාව විසි වුණත් මගේ හිත විසිරුණේ නැහැ.
මට ඒ වෙලාවෙ දැනුණේ එකම එක දෙයයි. ඒ එකම දෙයට මං හිතන්නෙ වචන තුනක් කියන්න පුළුවන්. ආනන්දය. ශාන්තිය. ශක්තිය. ඒකට මම ණයගැති වෙන්න ඕන ඒ පොලිස් අධිකාරිතුමාට.

සිය පෑන ඉවතලූ තරුණ පොලිස් නිලදරුවා ජංගම දුරකථනයේ රෙකෝඩරය ක්‍රියා විරහිත කොට හිඳි අසුනේ පසෙකට වූවා.

No comments:

Post a Comment