Monday, January 28, 2019

ඔබ පුතකු වීමෙන් නිවී සැන­සිණිමි!

2019 පෙබරවාරි 2 සිළුමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකයෙහි පළ විය.

මාධ්‍යවේදියකු ලෙස මම ජීවතුන් අතර සිටින මෙන්ම නාමශේෂ භාවෝපගත කීර්තිමත් පුද්ගලයන් ගැන කොතෙකුත් අභිනන්දන ලේඛනය කොට ඇත්තෙමි. එහෙත් සිත් ගැබ පාරා එබිකම් කරන මට පසක් වන යම් සැබෑවක් තිබේ. යම් මොහොතක මපියාණන් ගැන යම් අභිනන්දනයක් කිරීමට සිත් වෙත් නම්, ඔහු ඉතිරි කළ දායාදය පච්ච වර්ණයෙන් පෙඟුණු තුරු ලතා සපිරුණු හරිත දිවයිනක් විවර කරන බවයි ඒ. මෙවන් ලඝු ලේඛනයකින් ඒ දායාදය කිසි ලෙසකවත් කැටි කළ නොහැකිය. මේ සටහනෙහි යම් අත්තුක්කංසන පරවම්භනයක් හෝ අහංකාර පරවශ බවක් දැනෙත් නම් කමන්න. එහෙත් ජීවිතයෙහි මා විඳි පරම සැබෑව නම් එයයි.

සුප්‍රකට චරිතයක් නොවූවද, ඔහුගේ සුප්‍රකට බවේ සෙවණැල්ලෙන් කිනම් තැනකට වුව නිබය ව මම ඇතුළු වෙමි. කළ යුතුව ඇත්තේ තාත්තාගේ නම යම්තමින් සඳහන් කිරීම පමණි. සන් මිතුරකු වේවා, පරම සතුරකු වේවා, එහෙමත් නැත්නම් දුර ආශ්‍රිතයකු වේවා, ඔවුහු සුනන්ද මහේන්ද්‍ර නම් ඔහුගේ නම කී පමණින් හඳුනා ගනිති. ඒ නම නොහඳුනන කෙනෙක් වෙත් නම් එවැන්නන් මට හමු ව ඇත්තේ දුසිමකටත් අඩුවෙනි.

පසුපසින් ඇදෙන කුඩාවකු සේ ඉදිරියෙන් ඇදෙන ඔහු දෙස මම බලමි. ඉක්මන් ගමනින් යන ඔහු මා විස්මයට පත් කරයි. කිසිදු අවසරපතක් නොමැතිව උසස් නිලදරුවකුගේ කුටියට නිබයව ඇතුළු වන ඔහු නවතාලීමට සිතක් නැති ආරක්ෂක භටයන් ද මම දැක ගනිමි. ලොකු මහත්තය අඳුනන කෙනෙක් වෙන්නැති... ඔවුන්ගේ දේහ ලක්ෂණ මම කියවමි. ඒ උසස් නිලදරුවා හුනස්නෙන් නැඟී සිට ඔහුට ආචාර සමාචාර කරන අවස්ථාවේ දී ආරක්ෂක භටයන් ද මම ද තවත් විස්මයට පත් වෙමු. ඒ නිලදරුවන්ගේ අධ්‍යාපනයේ යම් අවධියකදී තාත්තා ඔවුන්ගේ ගුරුවරයකු බව මා දැන ගන්නේ සුළු මොහොතකට පසුව ය. එසේත් නැතිනම් ඔහුගේ කෘති කියවා ඇති පිරිසකි.

දශක අටක ජීවිත කාලයක් පුරා තාත්තා බොහෝ විෂය පථ සිසාරා යන රැස් වළල්ලක් නිමැවීය. නවකතාකරුවකු, කෙටිකතා රචකයකු, කවියකු, නාට්‍යකරුවකු, ශබ්දකෝෂ කර්තෘවරයකු, විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු, පරිපාලකයකු හා ජනමාධ්‍ය විශාරදයකු (රූපවාහිනි, පුවත්පත් හා ගුවන්විදුලි) ලෙස ඒ හැම විෂය භූමියකම සම්මානනීය භූමිකාවකට පණ පෙවී ය. වියතුන් සබා මැද සැරි සරා උපයාගත් ධනයක් සේ දිදුලන සම්මාන ප්‍රදාන හා පුස්තක සමූහයෙන් ගොඩ නැඟුණු ඒ මහ රගමඬල වංකගිරියක් සේ දිස් වේ. මහත් ඇල්මෙන් මම එහි ඇතුළු වෙමි; ඇතුළු වී අතරමං වෙමි.

මින් වසර 81කට ප්‍රථම ජනේරුවක 28 වන දින මාටින් හෙන්රි ද මැල් සහ ලිලියට් මාග්‍රට් වෛද්‍යරත්න යන මගේ පූර්වජනකයන්ට දාව තාත්තා මෙලොව එළිය දුටුවේ ය. වෘත්තීය වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු වූ බැවින් ද මැල් කුටුම්බයට විටින් විට පදිංචිය මාරු කරන්නට සිදු විය. මින් තාත්තාට නම් සිදු වූයේ මහත් ලාභයක්මයි. කොළඹ ආනන්දය හා මහනුවර ධර්මරාජය වැනි උත්තම ගණයේ විදුහල් මාතාවෝ ඔහු පෝෂණය කළහ.

ඉනික්බිතව එදවස විද්‍යාලංකාර නම් ලත් කැලණිය සරසවි බිමට ඇතුළු විය. සම්මානිත මහාචාර්යවරයකු ලෙස අදටත් ඔහු එහි ගිරිතරණය කරන්නේ ය. හෙවණැලි ඇද මිනිස්සු නම් ඔහුගේ කුලුදුල් ගත 1964 පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී විශිෂ්ටතම නවකතාවට හිමි ත්‍යාගය දිනා ගත්තේ යග ඉන් පිදුම් ලබන විට ඔහු 26 හැවිරිදි තරුණයෙකි. එක් ක්ෂේත්‍රයක පමණක් ජීවිත කාලයක් ගත කිරීම තාත්තාට නුපුරුදු විය. සාහිත ගිරිශිඛරයෙන් ඔහු රගමඬලට පිවිසුණේ හෙන්රික් ඉබ්සන් නම් නෝවිජියානු නාට්‍ය රචකයා වෙත තිබුණු ඇල්ම හේතු කොට ගෙන ය.

1965 දී හෙන්රික් ඉබ්සන්ගේ පෙළ ගැහැනියක් නමින් සිංහල කරළියට ඔහු හඳුන්වා දුන්නේ ය. කෙටි කලක් ඉංග්‍රීසි උපදේශකයකු ලෙස සේවය කොට ඔහු ඉන්පසුව ගුවන්විදුලි සංස්ථාවට බැඳුණේ මහගමසේකර වියොවින් සිස් වූ නිබන්ධ සම්පාදක තනතුර නොසිස් කිරීමට ය. මේ අතර බීබීසී ලෝක සේවයේ සන්දේශය වැඩසටහන සඳහා නිෂ්පාදකයකු පත් කරගැනීමේ තරග විභාගයෙන් තාත්තා සමත් විය. සරසවි බිමේදී සිත් ගත් සුහදිනියගේ අත ගත් ඔහු ලන්ඩන් බලා පියාසර කළේ ඉන් පසුව ය.

තෙවසරක බීබීසී සේවා කාලයෙන් අනතුරුව ආචාර්ය උපාධිය ද නිමවා, තාත්තා ලක්දිවට පැමිණියේ ය. කීර්තිශේෂ භාවෝපගත මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අසිරි මැද කැලණි සරසවි බිමෙහි ජනසන්නිවේදන අංශය පිහිටුවාලීමේ පුරෝගාමියකු බවට පත් වූයේ ඉන් පසුව ය. ඒ 1974 වසර ය.

නිර්මාපකයකු ලෙස ද, සරසවි ඇදුරකු ලෙස ද, තාත්තා මහ නුග රුකක් වී වැඩෙන්නට විය. එහි මස්තකප්‍රාප්ත ඵලයක් ලෙස 1990 දශකය මුල් භාගයේ ඔහු රචනා කොට අධ්‍යක්ෂණය කළ සොක්‍රටීස් නම් ස්වතන්ත්‍ර නිර්මාණය හැඳින්විය හැකිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේදී විශිෂ්ටතම නාට්‍ය පිටපත ලෙස ද, රාජ්‍ය නාට්‍ය උලෙළේදී විශිෂ්ටතම අධ්‍යක්ෂණය, රචනය ඇතුළු අංශ කිහිපයකට ම හිමි සම්මාන රාශියකින් පිදුම් ලැබී ය. සේවා සම්මත පරිදි 2002 දි විශ්‍රාම ලැබූව ද, තාත්තා දැනටත් සම්මානිත මහාචාර්යවරයකු ලෙස සරසවි කිහිපයක සේවය කරමින් සිටියි. හිමිදිරියේම දෙනෙත් විවර කරන ඔහු තෙද ගැන්වූ සංයමයකින් සිය ලේඛන කාර්යයෙහි නිරත වෙයි.

ඔහු විසින් රචිත ග්‍රන්ථාවලිය සිව් ශතකය ඉක්මවයි. ඒ සා මහත් ධාරිතාවකින් වියත් යුද පිටිය ජය ගැනීම එතරම් අරුමයක් සේ නොපෙනෙන්නේ අම්මා ඔහුට දී ඇති අපමණ නිදහස නිසා ය. ගෙදර දොර කටයුතු සොයා බැලීමෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කොට ඇති නිසා ය. තාත්තාගේ රැස් වළල්ලෙන් අම්මා ද නිබඳ පෝෂණය වූවා ය. ඒ පෝෂණයෙන් පුතුන් තිදෙනකුට අමතරව කෘතින් 14ක් ද බිහි කොට ඇත්තී ය. මෑතක බිහි වුණු කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානයකින් ද පිදුම් ලැබී ය.

සමකාලීනයන් මෙන් නොව, තාත්තා ශාස්ත්‍රෝද්ග්‍රහණයට ම සිය දිවිය කැප කළේ ය. ජීවිත කාලයක් තිස්සේ උපයා ගත් සිවිල් බලය නිසා නිතැනින් හිමි වන බොහෝ වරදාන ඔහු ප්‍රතික්ෂේප කළේ ය. පැස පුරවා ගැනීම ඔහු රිසි නොවී ය.

අප අතර ඇති වන සංවාදයකින් මම බොහෝ දේ ග්‍රහණය කරගන්නෙමි. දුහුනන් දැනුම් සයුරු තරණයට ඇවැසි බොහෝ දේ එහි ගැබ් වේ. ඒ කැපවීම සමඟ ම අසිරිමත් මතක ශක්තියක් ද වෙළී ඇත්තේ ය. නි‌ෙවසෙහි දුරකථනය නිබඳ නද දෙන්නේ යම් කාරණයක් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන් නිසා ය.

සරසවි ඇදුරකු ලෙස, පුවත්පත් ලේඛකයකු ලෙස, ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකයකු ලෙස හා අනෙකුත් උපදේශක මට්ටමින් ඉටුකරන පරිපාලන කටයුතු සමග ඔහු අදටත් ක්‍රියාකාරී භූමිකාවකට පණ දෙන්නේ ය. අසූ එක් වියෙහි පසු වන ඔහු ඇතැම් විට තවමත් සිය වෘත්තියෙහි නිරත වන ජ්‍යෙෂ්ඨතම සරසවි ඇදුරා විය හැකිය. එසේ නොමැති නම් ජ්‍යෙෂ්ඨතමයන් කිහිප දෙනාගෙන් එක් අයකු විය හැකිය.

පුතකුගේ පළමු වීරයා තාත්තා යන්න පතළ කියමනකි. තාත්තා නෙක විරුවන් බිහි කළේ ය. බොහෝ අයට ඔහු විරුවෙකි. වියෙන් වැඩෙන මගේ ජීවිතයට නෙක විරුවෝ ඇතුළු වූහ.

එනමුත් ජීවිතයෙහි මා විඳි අසිරිමත් දෙයක් ඇත්තේ ය. මුදු දිය දහරක් සේ අප දිවිය සනහාලන මගේ ජීවිතයේ පළමු විරුවා ලෙස තාත්තා අකාලිකව අසුන් දරා සිටින යුරු මම දකිමි.

No comments:

Post a Comment