Sunday, November 18, 2018

අද නොවැම්බර් 18


අද නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
2005 මේ දිනය මට තවමත් මතකයි.

අගමැති මහින්ද රාජපක්ෂට
ඔහුගේ 60 උපන්දිනයට
ජනතාව තෑග්ගක් දුන්නා.
ඒ තෑග්ග
මේ රටේ ඉතිහාසය තීරණය කළා.

කළ වැරදි නම් අපමණ ඇති.
සල්ලි හොරකම් කරන්න ඇති නැති වෙන්න
තක්කඩිකම් මැරකම් කරන්නත් ඇති නැති වෙන්න
ඇයි පවුල් පාලනය… සහෝදර සමාගම…?

ඒත්…

මොන පාලකයා ද එහෙම නැත්තෙ?

පැරීසියෙ ත්‍රස්ත ප්‍රහාරය
කන වැකුණහම මට මතක් වුණේ මේ තක්කඩි පාලකයා
එදා ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයින් පිළිගත්තු හැටි
ඇඹිලිපිටියට ගෙන්නගෙන කිව්වෙ
පටන් ගත්තු යුද්ධය අවසන් කරන්නෙ නැහැ කියල.
එදා ‍මේ මනුස්සය ඇතුළෙ මම දැක්කෙ රජෙක්.
රජකමින් හිස උදුම්මගෙන කටයුතු කරපු අත්තනෝමතික පාලකයෙක්.
ජාත්‍යන්තරයත් සමඟ සුහදව ගනුදෙනු කරන්නට ඉගෙන ගත යුතු නායකයෙක්.
ඒත් ප්‍රංශය අද කරන්නෙ එදා ඔවුන්ම මහින්දට එපා කියපු දේ නේ ද?

පුදුමයි නේ ද?

යුද්ධය, ත්‍රස්තවාදය, හමුවේ හැම පාලකයෙක්ටම පය පැටළුණා.
මහින්දට වැරදුණු තැන් බොහොමයි.
ඔහුට ඉංගිරිසි බැහැ.
ඔහුට පරිණත දේශපාලන පරිඥානයක් තිබුණෙ නැහැ.
ඔහුට හරියට කතාවක් පවත්වන්න අමාරුයි.
ඒත් ඔහු එක දෙයක් කළා.

යුද්ධය අවසන් කළා.
ත්‍රස්තවාදය අවසන් කළා.

  "කමක් නෑ බං යුද්දෙ දින්නනෙ"
යම් පෙර දවසක
තමන්ගෙ ජීවිතය දෙයියන්ට බාර කරල
තමන්ගෙ ජීවිතය ගැන විශ්වාසයක් නැතිව
ගෙදරින් එලියට බැහැපු
සිංහල, දෙමල, මුස්ලිම් හැම පුරවැසියෙක්ම
මේ මනුස්සයාට ණයගැති විය යුත්තෙ ඒ නිසා.

මනුදහමට පිටින් යන්නට තැත් කළ නිසා මනුදහම මහින්දව පරාජය කළා.
මියෙන තෙක්ම බලයට ලොල්ව කල් ගෙවන්නට ඔහුට අවකාස ලැබුණෙ නැහැ. ඒ නිසයි සොබා දහම නිසි කලට ඔහුව විශ්‍රාම ගැන්වූයෙ.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ප්‍රංශයේ ත්‍රස්තවාදයට විරුද්ධව කොඩි ඔසවන අපි අපද කලෙක පෙළුෑ ත්‍රස්ත සැකකරුවන් කිසිදු පුනරුත්ථාපනයකට ලක් නොවී මුදා හැරෙන දෙස අපි බලා සිටිනව.

අප කම්පනයට පත් වෙලා ද?
අනාගතය ගැන යම් අනියත බියක් අප තුළ වෙත් ද?
ඡන්දයකින් අප තෙ‍ා්රා පත්කරගන්නේ අපට සුදුසු පාලකයන්ම නොවේ ද?

මේ තමා සොබා දහම අපට උරුම කර දුන් මග.
ඔහු යන්නෙ සොබා දහමින් ඔහුට දායාද කළ ගමන.
අප යමින් සිටින්නේ සොබා දහම අපට දායාද කළ ගමන.

ඒ අතරෙ ඇත්තෙ අපට අමතක නොවන නොවන දෙයක්.
මේ රටේ ඉතිහාසය තවත් ඉකිහාසයක් නොවන්නට උර දුන් අපූරු මිනිසෙකු අප ජීවිත කාලයේ දී සිටි බවයි ඒ.

නොවැම්බර් 18
දිනපොතක සටහන් කර නොගත්තාට
මට මතක ඇත්තේ ඒ නිසා.
ඒ දිනය මතක ඇති මිනිසුන් සිටින තාක් කල්
මහින්ද රාජපක්ෂ නම් ඒ සොඳුරු ආඥාදායකයාට හෘදයාංගම උපන්දින සුබ පැතුම් නොඅඩුව ලැබේවි.

Sunday, April 22, 2018

ඉදිරියට යන්නෙ නැහැ මේ රිය පෙල

ඒ රිය තදබදයට
නොවී කිසිත් හේතුවත් එදින.

පාසැල් දිනයක් ද? නෑ.
කාර්යාල දිනයක් ද? නෑ.
රිය තදබදය උත්සන්න වෙන හෝරාව ද? නෑ.

වැහි චුරු චුරුව පැවතියා දිගටම
හිටියේ නැහැ කිසිදු පොලිස් නිලදරුවෙකු
වැවෙන රිය තදබදය පාලනය කරන්නට.
කෙමෙන් කෙමෙන් වැඩුණා එ් රිය තදබදය
කි‍ලෝමීටර් ගණන් හැතැප්ම ගණන් ඉදිරියට

ඉදිරියට යන්නෙ නැහැ මේ රිය පෙල
එක තැනටම වී දැන් පැය ගානක්
කිසිවෙකුත් නැහැ මේ දුක කියන්නට
ආතතියට පීඩනයට ගොදුරු වුණා 
ඇතුලේ සිටි ලොකු පොඩි මහත්වරු නෝනාවරු ළමාවරු

උහු සියල්ලෝම අවසානයේ දී
අත්හැරියා රථයට ඇති ආසාව
ජීවිතය වෙනුවෙන්

තියෙන තැන තියෙන්නට ඇර එලෙසම
රියෙන් බැස
උහු සියල්ලෝම 
පටන් ගත්තා ඇවිද යන්නට.

Sunday, March 18, 2018

ඔබ පුදන මලට සාධාරණයක් ඉටු කරන්න.

‘තේ එකක් බොනවද?”
‘ඔව් නේද. ඒ සම්ප්‍රදායත් කඩන එක හොඳ නැහැනෙ.’
අැඟට පතට නෙදැනී අයියා කරපු ඒ අනුමතය සමඟමම මම රථය අපේ ප්‍රියතම ආපන ශාලාව වෙතට හැරෙව්වා.
ඒ ආපන ශාලාවට අපි ප්‍රිය කළේ කාරණා කිහිපයක් නිසා. නිදහසේ ඉඳගෙන කතා කරන්නට ඉඩ හසර තිබීම එකක්. ඒ වාගේම කෙටි අාහාර වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ හැමටව වඩා හොඳම දේ තමයි ඒ ආපන ශාලාවේ හැදුණු තේක. සීනි නෙමැතිව පානය කරන්නට හැකි ලෙස කහට ගානට කිරි ගානට තිබුණු ඒ තේක බොහෝ ප්‍රණීත වුණා.
“ඔයාම ඒ කතන්දරය මල්ලිට කිව්ව නමි තමයි හොඳ,” කෙටි ආහාර පිඟානත් තේ කෝප්ප දෙකත් සමඟ මේසයක් අසළ හිඳගෙන මෙහි එ්මට පෙර අප කතා කරමින් හිටි මාතෘකාවට එළැඹුණා.
අපේ ඥාති මළණුවන්ට අවශ්‍ය වී තිබුණේ ඔහු දන්නා හඳුනන අාරණ්‍යයක බෝ රුකක් සමීපයේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට වඩා විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදි කිරීමට. ඒ කටයුත්ත සඳහා ආධාර එකතු කර ගැනීමටයි අපේ මලනුවන්ගේ සූදානම.
බොහොම පිංවන්ත අදහසක්.
ඒත්…
අපිට ඇති වෙන බොහොමයක් පිංවන්ත අදහස් වග එතරම් තේරුමක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද බුද්ධ ප්‍රතිමාව වැඩ ඉන්න ඕන බුදු ගෙයි තුළ. එතැන වැඩ ඉඳගෙන ඇසතු බෝ රුක දිහා අනිමිස ල‍ෝචනයෙහි යෙදෙමින් සිටින බුදුරජාණන්වහන්සේ තමයි අප මනසේ ඇඳිල තියෙන්නෙ. ඉතින් බෝරජුන් ගාවම බුද්ධ ප්‍රතිමාවක් හදනව කියන එක එතරම් තේරුමක් නැති වැඩක්. ඒ වගේම ඊට වියදම් කරන මුදල් ඊට වඩා බොහෝ කුසල් සහ පින් වැඩෙන දේකට යොදන්න පුළුවන් නම් තමයි ‍හොඳ.
‘ඒ මල්ලි හරිම ශ්‍රද්ධාවෙන් නේ ද ඉන්නෙ.’
“මං හිතන්නෙ ඕකට හරි යන වචනය තමයි භක්තිය.”
‘මං මේ අහන්ත් කියල හිටියෙ… ඇත්තටම ඔය භක්තිය කියන එකයි ශ්‍රද්ධාව කියන එකයි අතර වෙනස මොකද්ද?’
‘මට දැනෙන විදිහට, වැටහෙන විදිහට, ඔය වෙනස එන්නෙ මෙහෙමයි.’
අයියා මලෝ දෙන්නා තේ කෝප්ප දෙක පැත්කට කළා. එකෙක් පැහැදිලි කරන්න. අනෙකා අහගෙන ඉන්න.
‘ශ්‍රද්ධාව කියන දේ ඇති වෙන්නෙ අවබෝධයෙන්. උදාහරණයක් කිව්වොත් බුදු ගුණ මෙනෙහි කරන කොට අපි කියනවනෙ බුදුරජාණන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක කියල. ඉතින් ඕක බොහෝ වෙලාවට කෙරෙන්නෙ ගිරව වගේ මන්තරය ජප කරන එකනෙ. දැන් හිතන්න අපි පොඩි ළමයි වගේ බෝනික්කො එක්ක සෙල්ලම් කාර් එක්ක සෙලලම් කරන්නෙ නැහැ. ඇයි ඒ? මොකද අපි දන්නව එතන තියෙන්නෙ වැඩිහිටි බාසාවෙන්ම කියනව නමි මායාවක් කියල. ඔතනින් ටිකක් එහාට ගිහින් අපි ගනිමු යම් මානසික තලයකට පැමිණි පුද්ගලයෙකු. සාන්තුවරයෙක් කියමුකො. ඇයි එයා සමජයේ සම්මත වැරදි වැඩ කරන්නෙ නැත්තෙ? මොකද එයාට ඊට වඩා රසවත් දෙයක් තියෙනව. එයාට බිබී යාළුවො එක්ක පල් හෑලි කතා කර කර ඉන්නවට වඩා රසවත් භාවනාවෙන් සමාධිතලයට ගිහින් ඉන්න එක.’
“මට මතක් වෙන්නෙ බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ කියපු කියමනක්. මෙඩිටේෂන් ඉස් බෙටර් දෑන් සෙක්ස් කියල. ඉතින් ඔයාගෙ කතාව කියන්නකො.”
‘අන්න හරි. ඔයා නියම තැනට අාවා. ඔන්න ඔය කියන තැනට පොඩිත්තක් හරි අපි ළඟා වෙලා ඊළඟට බුදුහිමියන් ගැන හිතන්න පටන් ගන්නවා. ඇත්ත නේන්නම් මට මෙහෙම නම් ලොවුතුරා බුදුහිමියනට කොහොම ඇත්ද? රහසින් වත් පව් කරන්නෙ නැත්තෙ ආය කාටවත් බයේ වත් කවුරුත් දකීවි කියල ලැජ්ජාවෙන් වත් නෙවෙයිනෙ. ඒ පවටවත් පිනටවත් කිසිම අෑලීමක් නැති හින්ද නේද කියල හිතෙන්න පටන් ගන්නව. එතකොට අාන්න බුදුහිමියන් ගැන පුංචි අවබෝධයක් ඇත වෙනව. එහෙම නැතිව භක්තිය තියෙන කෙනාට හිතෙන්නෙ ඔය කිව්වට බුදුහාමුදුරුවොත් හීනියට අඩියක් ගහන්න ඇති කියල. එහෙමත් නැත්නම් නොපෙනෙන ලෝකය ගැන විස්වාසයක් තියෙන කෙනෙක් හිතන්නෙ දේවතාවන්ට බ්‍රහ්මයින්ට පෙනේවි කියල බයෙන් ලැජ්ජාවෙන් බුදුහිමියන් පව් කරන්න නැතිව ඇති කියල. ඒත් ශ්‍රද්ධාව තියෙන කෙනා බුදුහිමියන්ගේ අරහං ගුණය ගැන පුංචි අවබෝධයක් ඇති කර ගෙන ඉන්නෙ. ඒ ශ්‍රද්ධාව භක්තිය වගේ කෙනෙක්ට වට්ටන්න බැහැ.’

Sunday, February 4, 2018

අනාගත පෙබරවාරි හතරවෙනිදාවක

බබලන කාල වර්ණයෙන් යුතු බෙන්ස් ලිමොසින් රථය ගමනින්තයට ළඟා⁣ වූයේ අභිමානවත් රථ පෙරහරක්ද සමඟ ය. එක්සත් ශ්‍රී ලංකා රජධානියේ අභනව ජනාධිපතිවරයා රැස්ව සිටි ජනකායට ආචාර කරමින් රථයෙන් බැස්සේ ය. බටහිර පන්නයේ අලංකාර ඇඳුමකින් සැරසුණු මේ රාජ්‍ය නායකයා රතු පලස මතින් තමා වෙනුවෙන් වෙන් කළ වේදිකාව වෙතට ගමන් කළේ ය.
වේදිකාවට අවතීර්ණ වූ ඔහු සිය කතාව ඇරඹීය.
"අද අපි මේ රැස් වී සිටින්නේ මේ දේශයේ ඉතිහසය වෙනස් කරන පරිච්ඡේදයකට. මෙතෙක් කග් බෙදා වෙන් ව සිටි ජාතියක් ව සිටි අප අද මේ ගන්නා දැවැන්ත, ඒ වගේම ඓතිහාසික, පියවරින් එකමුතුවනැගී සිටිය යුත්තේ ඒ සා බෙදී වෙන් කරන ශක්තීන් මුලිනුදුරා දැමීමෙන්. තව සුළු මොහොතකින් අප සැවොම සාක්ෂි දරන මේ සිදුවීම අපේ ඉතිහාසය නව පැතිකඩකට මුලපුරන බව මට සහතිකයි."
ඉන්පසුව ජනාධිපතිවරයා එල්ලා මැරීමේ ආඥාව කියැවීමට පටන් ගත්තේ ය.
“උපජනාධිපතිවරු දෙදෙනා විසින් අත්සන් කරන ලදුව ශ්‍රී ලංකා එක්සත් ජනරජයේ පලමු ජනාධිපතිවරයා වන මා විසින් දැන්…”
ඉන්පසුව එළඹීයේ උත්සවාකාරයෙන් වෙඩි තබා මැරීමේ මොහොතයි.
පොලිස් අශ්වාරෝහකයන් විසි දෙනා ගාලු මුවදොරට පඅමිණ එකපෙලට හිටගත්තේ තමා ඉදිරියේ සිටින වරදකරුවන් විසිදෙනා නිල වශයෙන් වෙඩි තබා ජනාධිපතිගේ ඝාතන තීන්දුව ක්‍රියාත්මක කිරීමටයි. චූදිතයින් විසි දෙනා වෙනම වේදිකාවක් මත කණු මත සිටුවා තබනු ලැබුවා. වෙඩි මුරය පැවැත්වුණේ එකවර. විසිදෙනෙකු එකවර තැබූ වෙඩි පහරක් නිසා ඒ හඬ දෙරණ සිසාරා ගිගුම් දුන්නා. වෙඩි මුරයෙන් මතු වුණු ධුමය අහස් කුස වසා ගත්තා. සුදු පැහැතිව පැහැදිලිව තිබුණු නුබ කුස ඒ ධූමයෙන් අඳුරු වුණා.
රැස් කකා සිටි ජනපොදිය ඔල්වර⁣සන් දෙන අතරේ මිනිස් ලේ ගලා ගොස් මුහුදු ජලයට එකතු විය. අගනුවර කොණක සාගින්දරෙන් පෙළුණු ගවයෙක් තාප්පයක තිබුණු පෝස්ටරයක් උලා කෑවා. එහෙත් තවත් පෝස්තර් පොදියක්ම අලවා තිබුණෙන් උගේ සාගින්දරට ඒ ප්‍රමාණවත් වුණා. භික්ෂු භීෂනය අදින් අහවරයි යනුවෙන් ඒ පෝස්ටර් වල සටහන් වී තිබුණා.