Sunday, March 18, 2018

ඔබ පුදන මලට සාධාරණයක් ඉටු කරන්න.

‘තේ එකක් බොනවද?”
‘ඔව් නේද. ඒ සම්ප්‍රදායත් කඩන එක හොඳ නැහැනෙ.’
අැඟට පතට නෙදැනී අයියා කරපු ඒ අනුමතය සමඟමම මම රථය අපේ ප්‍රියතම ආපන ශාලාව වෙතට හැරෙව්වා.
ඒ ආපන ශාලාවට අපි ප්‍රිය කළේ කාරණා කිහිපයක් නිසා. නිදහසේ ඉඳගෙන කතා කරන්නට ඉඩ හසර තිබීම එකක්. ඒ වාගේම කෙටි අාහාර වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ හැමටව වඩා හොඳම දේ තමයි ඒ ආපන ශාලාවේ හැදුණු තේක. සීනි නෙමැතිව පානය කරන්නට හැකි ලෙස කහට ගානට කිරි ගානට තිබුණු ඒ තේක බොහෝ ප්‍රණීත වුණා.
“ඔයාම ඒ කතන්දරය මල්ලිට කිව්ව නමි තමයි හොඳ,” කෙටි ආහාර පිඟානත් තේ කෝප්ප දෙකත් සමඟ මේසයක් අසළ හිඳගෙන මෙහි එ්මට පෙර අප කතා කරමින් හිටි මාතෘකාවට එළැඹුණා.
අපේ ඥාති මළණුවන්ට අවශ්‍ය වී තිබුණේ ඔහු දන්නා හඳුනන අාරණ්‍යයක බෝ රුකක් සමීපයේ වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව ඉවත් කොට වඩා විශාල බුද්ධ ප්‍රතිමාවක් ඉදි කිරීමට. ඒ කටයුත්ත සඳහා ආධාර එකතු කර ගැනීමටයි අපේ මලනුවන්ගේ සූදානම.
බොහොම පිංවන්ත අදහසක්.
ඒත්…
අපිට ඇති වෙන බොහොමයක් පිංවන්ත අදහස් වග එතරම් තේරුමක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. මොකද බුද්ධ ප්‍රතිමාව වැඩ ඉන්න ඕන බුදු ගෙයි තුළ. එතැන වැඩ ඉඳගෙන ඇසතු බෝ රුක දිහා අනිමිස ල‍ෝචනයෙහි යෙදෙමින් සිටින බුදුරජාණන්වහන්සේ තමයි අප මනසේ ඇඳිල තියෙන්නෙ. ඉතින් බෝරජුන් ගාවම බුද්ධ ප්‍රතිමාවක් හදනව කියන එක එතරම් තේරුමක් නැති වැඩක්. ඒ වගේම ඊට වියදම් කරන මුදල් ඊට වඩා බොහෝ කුසල් සහ පින් වැඩෙන දේකට යොදන්න පුළුවන් නම් තමයි ‍හොඳ.
‘ඒ මල්ලි හරිම ශ්‍රද්ධාවෙන් නේ ද ඉන්නෙ.’
“මං හිතන්නෙ ඕකට හරි යන වචනය තමයි භක්තිය.”
‘මං මේ අහන්ත් කියල හිටියෙ… ඇත්තටම ඔය භක්තිය කියන එකයි ශ්‍රද්ධාව කියන එකයි අතර වෙනස මොකද්ද?’
‘මට දැනෙන විදිහට, වැටහෙන විදිහට, ඔය වෙනස එන්නෙ මෙහෙමයි.’
අයියා මලෝ දෙන්නා තේ කෝප්ප දෙක පැත්කට කළා. එකෙක් පැහැදිලි කරන්න. අනෙකා අහගෙන ඉන්න.
‘ශ්‍රද්ධාව කියන දේ ඇති වෙන්නෙ අවබෝධයෙන්. උදාහරණයක් කිව්වොත් බුදු ගුණ මෙනෙහි කරන කොට අපි කියනවනෙ බුදුරජාණන්වහන්සේ රහසින්වත් පව් නොකළ සේක කියල. ඉතින් ඕක බොහෝ වෙලාවට කෙරෙන්නෙ ගිරව වගේ මන්තරය ජප කරන එකනෙ. දැන් හිතන්න අපි පොඩි ළමයි වගේ බෝනික්කො එක්ක සෙල්ලම් කාර් එක්ක සෙලලම් කරන්නෙ නැහැ. ඇයි ඒ? මොකද අපි දන්නව එතන තියෙන්නෙ වැඩිහිටි බාසාවෙන්ම කියනව නමි මායාවක් කියල. ඔතනින් ටිකක් එහාට ගිහින් අපි ගනිමු යම් මානසික තලයකට පැමිණි පුද්ගලයෙකු. සාන්තුවරයෙක් කියමුකො. ඇයි එයා සමජයේ සම්මත වැරදි වැඩ කරන්නෙ නැත්තෙ? මොකද එයාට ඊට වඩා රසවත් දෙයක් තියෙනව. එයාට බිබී යාළුවො එක්ක පල් හෑලි කතා කර කර ඉන්නවට වඩා රසවත් භාවනාවෙන් සමාධිතලයට ගිහින් ඉන්න එක.’
“මට මතක් වෙන්නෙ බ්‍රහ්මවංසෝ හාමුදුරුවෝ කියපු කියමනක්. මෙඩිටේෂන් ඉස් බෙටර් දෑන් සෙක්ස් කියල. ඉතින් ඔයාගෙ කතාව කියන්නකො.”
‘අන්න හරි. ඔයා නියම තැනට අාවා. ඔන්න ඔය කියන තැනට පොඩිත්තක් හරි අපි ළඟා වෙලා ඊළඟට බුදුහිමියන් ගැන හිතන්න පටන් ගන්නවා. ඇත්ත නේන්නම් මට මෙහෙම නම් ලොවුතුරා බුදුහිමියනට කොහොම ඇත්ද? රහසින් වත් පව් කරන්නෙ නැත්තෙ ආය කාටවත් බයේ වත් කවුරුත් දකීවි කියල ලැජ්ජාවෙන් වත් නෙවෙයිනෙ. ඒ පවටවත් පිනටවත් කිසිම අෑලීමක් නැති හින්ද නේද කියල හිතෙන්න පටන් ගන්නව. එතකොට අාන්න බුදුහිමියන් ගැන පුංචි අවබෝධයක් ඇත වෙනව. එහෙම නැතිව භක්තිය තියෙන කෙනාට හිතෙන්නෙ ඔය කිව්වට බුදුහාමුදුරුවොත් හීනියට අඩියක් ගහන්න ඇති කියල. එහෙමත් නැත්නම් නොපෙනෙන ලෝකය ගැන විස්වාසයක් තියෙන කෙනෙක් හිතන්නෙ දේවතාවන්ට බ්‍රහ්මයින්ට පෙනේවි කියල බයෙන් ලැජ්ජාවෙන් බුදුහිමියන් පව් කරන්න නැතිව ඇති කියල. ඒත් ශ්‍රද්ධාව තියෙන කෙනා බුදුහිමියන්ගේ අරහං ගුණය ගැන පුංචි අවබෝධයක් ඇති කර ගෙන ඉන්නෙ. ඒ ශ්‍රද්ධාව භක්තිය වගේ කෙනෙක්ට වට්ටන්න බැහැ.’

Sunday, February 4, 2018

අනාගත පෙබරවාරි හතරවෙනිදාවක

බබලන කාල වර්ණයෙන් යුතු බෙන්ස් ලිමොසින් රථය ගමනින්තයට ළඟා⁣ වූයේ අභිමානවත් රථ පෙරහරක්ද සමඟ ය. එක්සත් ශ්‍රී ලංකා රජධානියේ අභනව ජනාධිපතිවරයා රැස්ව සිටි ජනකායට ආචාර කරමින් රථයෙන් බැස්සේ ය. බටහිර පන්නයේ අලංකාර ඇඳුමකින් සැරසුණු මේ රාජ්‍ය නායකයා රතු පලස මතින් තමා වෙනුවෙන් වෙන් කළ වේදිකාව වෙතට ගමන් කළේ ය.
වේදිකාවට අවතීර්ණ වූ ඔහු සිය කතාව ඇරඹීය.
"අද අපි මේ රැස් වී සිටින්නේ මේ දේශයේ ඉතිහසය වෙනස් කරන පරිච්ඡේදයකට. මෙතෙක් කග් බෙදා වෙන් ව සිටි ජාතියක් ව සිටි අප අද මේ ගන්නා දැවැන්ත, ඒ වගේම ඓතිහාසික, පියවරින් එකමුතුවනැගී සිටිය යුත්තේ ඒ සා බෙදී වෙන් කරන ශක්තීන් මුලිනුදුරා දැමීමෙන්. තව සුළු මොහොතකින් අප සැවොම සාක්ෂි දරන මේ සිදුවීම අපේ ඉතිහාසය නව පැතිකඩකට මුලපුරන බව මට සහතිකයි."
ඉන්පසුව ජනාධිපතිවරයා එල්ලා මැරීමේ ආඥාව කියැවීමට පටන් ගත්තේ ය.
“උපජනාධිපතිවරු දෙදෙනා විසින් අත්සන් කරන ලදුව ශ්‍රී ලංකා එක්සත් ජනරජයේ පලමු ජනාධිපතිවරයා වන මා විසින් දැන්…”
ඉන්පසුව එළඹීයේ උත්සවාකාරයෙන් වෙඩි තබා මැරීමේ මොහොතයි.
පොලිස් අශ්වාරෝහකයන් විසි දෙනා ගාලු මුවදොරට පඅමිණ එකපෙලට හිටගත්තේ තමා ඉදිරියේ සිටින වරදකරුවන් විසිදෙනා නිල වශයෙන් වෙඩි තබා ජනාධිපතිගේ ඝාතන තීන්දුව ක්‍රියාත්මක කිරීමටයි. චූදිතයින් විසි දෙනා වෙනම වේදිකාවක් මත කණු මත සිටුවා තබනු ලැබුවා. වෙඩි මුරය පැවැත්වුණේ එකවර. විසිදෙනෙකු එකවර තැබූ වෙඩි පහරක් නිසා ඒ හඬ දෙරණ සිසාරා ගිගුම් දුන්නා. වෙඩි මුරයෙන් මතු වුණු ධුමය අහස් කුස වසා ගත්තා. සුදු පැහැතිව පැහැදිලිව තිබුණු නුබ කුස ඒ ධූමයෙන් අඳුරු වුණා.
රැස් කකා සිටි ජනපොදිය ඔල්වර⁣සන් දෙන අතරේ මිනිස් ලේ ගලා ගොස් මුහුදු ජලයට එකතු විය. අගනුවර කොණක සාගින්දරෙන් පෙළුණු ගවයෙක් තාප්පයක තිබුණු පෝස්ටරයක් උලා කෑවා. එහෙත් තවත් පෝස්තර් පොදියක්ම අලවා තිබුණෙන් උගේ සාගින්දරට ඒ ප්‍රමාණවත් වුණා. භික්ෂු භීෂනය අදින් අහවරයි යනුවෙන් ඒ පෝස්ටර් වල සටහන් වී තිබුණා.

Saturday, January 3, 2015

ඒ සුවඳ කුමක්ද?

අත්දැකීම් ස්වකීය පරකීය වශයෙන් දෙයාකාර බව අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් මේ පරකීය අත්දැකීම් හරිම විවිධාකාරයි. අපි නිරතුරුවම ඇසුරු කරන පිරිසත්, ඒ වගේම ඔවුන්ගේ හිතවතුන් ගැන අප සමග බෙදා හදාගන්නා තොරතුරු, වශයෙන් එ්වා දෙකට බෙදන්නත් පුළුවන්. එ් නිසාම කිසිම දිනෙක ඇහැට නොදැකපු පුද්ගලයන් ගැන රසවත් කතන්දර අපිට අහන්න ලැබෙනවා.

සමරනායක ආච්චි කියන්නේ මම කවදාවත් දැකපු කෙනෙක් නොවේ. ඒත් ඇය ගැන අහන්න ලැබුණු එක එක කතන්දර වලට මම ඇලුම් කළා.

මුලු ජීවිත කාලෙටම ඇය විවාහයක් කරගත්තෙ නැහැ. මගේ සොහොයුරා කී පරිදි ඇය ගත කලේ රහසින් වත් පවු නොකරන ජීවිතයක්. ඔහු නිතර සඳහන් කරන අපේ ගේ මැදින් දිවෙන දේවපාදය ගැන ඇති වන කතාබහක දී සමරනායක ආච්චි සිහිපත් කරන්නට මගේ සොහොයුරා අමතක කරන්නෙ නැහැ.

මේ ඔහු කී කතාවක්.

අපෙ පුංචි, ඒ කියන්නෙ අම්මගෙ බාලම නංගි, විවාහ වෙන්න කලින් කාලයක් අපෙ ගෙදර නැවතිලා ඉඳල තියෙනවා. සමරනායක ආච්චිගෙ ගෙදර තිබුණේ අල්ලපු වැටේ නිසා පුංචි නිතරම වාගේ එහෙ යන්න එන්න පුරුදු වෙලා හිටියා. දවසක් මොකක්ද වැඩකට පුංචි එහෙට ගිහින් තියෙනවා. ගෙදර කවුරුත් ඉඳල නැහැ.

නිකමට වගේ බුදු කුටියට ඇවිදගෙන යනකොට ඉබේම දොරවල් ඇරිලා. පුංචි හිතල තියෙන්නෙ හුලඟට කියල. ඉතින් ඇතුළට යනකොට අමුතු සුවඳක් ඇවිල්ල තියෙනවා.

ඒක හරිම අපූරු සුවඳක්. පුංචි ඒත් බලල තියෙන්නේ හඳුන්කූරක්වත් පත්තු කරල තියෙනවද කියලා. කිසිම හඳුන්කූරක් පත්තු කරල තිබුනේ නැහැ. අදටත් එ් සුවඳ කුමක්ද කියා ප‍්‍රශ්ණයක්. එ්කට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. කෙනෙකුට කියන්න පුළුවන් ඈතින් හමා ආපු සුවඳක් කියලත්.

කොහොම වුණත් එ් සුවඳ ඊට පස්සෙත් ආවා කියල තමයි මට මතකයි විදිහට සොහොයුරා කිව්වේ. ඊට සමාන සුවඳක් දේව පාදය දිවෙන සේපාලිකා ගහ ළඟින් ?ට ?ට හමනවා කියලයි ඔහු කියන්නෙ. එ් සුවඳ හැමදාම අත්විඳින්න පුළුවන් සුවඳකුත් නෙවෙයි හැබැයි.

Thursday, December 25, 2014

මම දැක්කා ඔබ කුමාරයෙක් වගේ...

ඔහුගේ දුරකථනයට පණිවුඩයක් ආවා. ඔහුගේ සොහොයුරාගෙන්.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

ඔහුගේ සොහොයුරා ඔහු දැක තිබුණේ සිහිනෙන් නොවේ. මොහොතකට පෙර ඔහුගේ රුව ඔහුගේ සොහොයුරාගේ සිත්හි මැවී නොපෙනී ගොස්. මෙවන් සිදුවීම් අපට අහන්නට ලැබෙන්නේ ජීවතුන් අතර සිට මලවුන් අතරට ගිය උදවිය ගැනයි. එ්ත් මේ කතාව ජීවමානව සිටින, දේශසීමාවෙන් පමණක් වෙන් වුණු, පුද්ගලයන් දෙදෙනෙකු ගැනයි. අරුමය ඇත්තේ මෙතැන පමණක් නොවේ.

මගේ මිතුරාගේ සොහොයුරාට ඔහුව මනැසින් හදිසියේම පෙනෙන්නට හේතුව කුමක් විය හැකි ද? මගේ මිතුරා එය පැහැදිළි කළා.

”ඔහු දුරකථන පණිවුඩය එවන්නට මොහොතකට පෙර මම සිටියේ ඉතාමත් ප‍්‍රීතිමත් සිතකින්. මගේ සිත ධ්‍යානගතව තිබුණා කියල කියන්නෙ නැහැ. එ්ත් එ් මිනිත්තුව දෙක හරි මම ගත කළේ ප‍්‍රීතියෙන්.”
මගේ මිතුරා ප‍්‍රීතිය කියන වචනය බරක් ඇතිව භාවිත කරන බව මට හැඟුණා.

”එ් ප‍්‍රීතිය වචන වලට හරවන්න හරි අමාරුයි. එ්ත් ඔබට යම් අදහසක් දිය යුතු නිසා මං හැකි අන්දමින් විස්තර කරන්නම්.”

නිහඬව මම ඔහුට අවධානය යොමු කළා.

”මේ ලෝකේ කිසිම කෙනෙක් සමඟ මගේ ගැටුමක් නැති බව මට එ් මොහොතේ වැටහුණා. කිසිම කෙනෙක් සමඟ, එ් වගේම කිසිම දෙයක් සමඟ. එ් වැටහීමත් සමඟම කියා ගන්න බැරි හැඟීමකින් මාව වෙලා ගත්තා. මම දැනගත්තා එ් තමයි ප‍්‍රීතිය බව. රහ කෑමකින් එ් ප‍්‍රීතිය ලබන්න බැහැ. විශිෂ්ඨ ගණයේ කලා කෘතියකින් වත් එ් ප‍්‍රීතිය ලබන්න බැහැ. තනිකරම සිතින් උපදින එය පීති සම්බොජ්ඣංගයට සමීප බව මට වැටහුණා.

අවට හරි සද්දයි. එ්ත් එ් කිසිම දෙයක් සමඟ කිසිම ගැටීමක් නැතිව මගේ හිත නිස්සද්දවම ප‍්‍රීතිය විඳිමින් හිටියා. හරියට බ‍්‍රහ්ම ලෝකයක ධ්‍යානගතව සිටින බ‍්‍රහ්මයෙක් වගේ. මම හදවතින් සිනාසෙන්නට පටන් ගත්තා එ් ප‍්‍රීතියෙන්.

එ්ත් එ් ප‍්‍රීතිය රැුඳුණේ මිනිත්තුවක හෝ දෙකක කාල පරාසයක් තුළ. ඉන් පසුව එ් හැඟීම ටිකින් ටික අඩු වුණා. ඊට ටිකකට පසුව තමයි මගේ දුරකථනයට මගේ සොයුරා අර පණිවිඩය එවා තිබුණේ.

”මම දැක්කා ඔබ. ඔබ හිටියේ ඉතාමත් සෝබාමත් ලෙස. හරියට කුමාරයෙක් වගේ...”

Wednesday, June 4, 2014

ඒ මිහිරි තේ කෝප්පය

ඉතා කුඩා දේ දැනෙන විට ජීවිතය දකින්න පුළුවන්. එතැන තමයි ජීවිතය ඇත්තේ. තේ කෝප්පය තොළ ගාන අතර මං ඒ සිතිවිල්ලේ නිමග්න වුණා. මගේ තේකට සීනි නෑ. කිරි නෑ. තේ කොල සමග නැහැවුණු උනු වතුරක ඇත්තේ පුදුමාකාර රසයක්. ඒ රසය සීනි දාපු කිරි තේකකින් ගන්න බැහැ.

ඒ රසය තමයි තේ රසය කියන්නෙ.

මේ අවබෝධයත් එක්ක පෙර නුවු විරූ සතුටකින් මා නැහැවෙන්නට පටන් ගත්තා. මම කොහොමත් තේ වලට පෙරේතයි. සීනි දාපු කිරි තේ හරිම රහයි. ඒත් මට දැන් තේරෙනවා ඉතා කුඩා තේ කොප්පයක රසය කොයි තරම් මිහිරි ද කියල.

කිරි ද සීනි ද නොමැති තේ කොප්පය තොල ගාන අතරේ උණුසුම් තේ මගේ උගුරින් පහලට හෙමින් හෙමින් ඇදී යන අයුරු මම බලා ගෙන හිටියා.

Sunday, March 31, 2013

සරත්ගේ ජරා වැඬේ

”ඔයාට මතකද ඔයාගේ තාත්තා පොඩි කාලේ කරපු ජරා වැඬේ?”
මගේ තුරුලේ හිටි ඇගෙන් මං එහෙම ඇහුවේ යම් අවදානමක් දරාගෙන.
”මොන ජරා වැඬේ ද?”
මං හිතුවා හරි. ඇගේ ස්වරය එතරම් හොඳ නැහැ. ටිකක් තරහ ගිහින් වගේ ඇය කතා කළේ.
”අර අහවලත් එක්ක එකතු වෙලා කරා කියපු වැඬේ.”
මඳ පමණින් විස්තර සමඟ ඇයට කතාව මතක් කළා. ඇගේ මුහුණට නැගුණා සිනහවක්. එ් සමඟම ඈ කතාව කියන්නට පටන් ගත්තා.

සරත් තමයි පන්තියේ හිටපු දඟම ළමයා. පන්තියේ ගුරු මණ්ඩලය කොයි වෙලේත් බයේ හිටියේ ඔහු කුමක් හෝ දඟ වැඩක් කරාවි කියා. එ් තරමටම වසවර්ති මාර වැඩ කළේ. හැබැයි පන්තිභාර ගුරුතුමියට එ් සෙල්ලම් ඇල්ලූවේ නැහැ. හැමදාම වගේ ඇගේ දඬුවමට ලක් වුණා අපේ සරත්.
ඉතින් නිතොර වසවර්ති මාර වැඩ කරපු සරත්ටත් මේ පන්තිභාර ගුරුතුමිය එතරම් ඇල්ලූවේ නැහැ. කොයි මොහොතේ හරි ඇයට පාඩමක් උගන්වන අදිටනක් සරත්ට තිබුණා. ඔහුගේ විවේකි මොහොතක් ගෙවුණේ එ් සඳහා කදිම සැලැස්මක් සිතා ගන්නට.
දවසක් ඔහුට කදිම සැලැස්මක් කල්පනා වුණා.
සිය සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඔහු තවත් සගයෙකු එකතු කර ගත්තා. එදා වැහිබර හැන්දෑවක්. පාසැලේත් කවුරුත් රැුඳී සිටියේ නැහැ. එ් නිසා සරත්ට සිය සැලසුම ක‍්‍රියාත්මක කරන්න එතරම් අපහසුවක් වුණේ නැහැ. එ්ත් කොයිකටත් සූදානම් සරීරෙන් සිටිය යුතු නිසා, සිය සගයා පන්තිකාමරයේ ෙදාරටුව ළඟ හිටෙව්වා. ඈතින් කවුරුන් හෝ එනවා නම් වහාම ඔහු සංඥවක් දිය යුතු යි.
හරි දැන් ඔක්කොම ලැහැස්තියි.
ඉතින් හෙමින් සැරේ වැහිබර සීතලත් දරාගෙන සරත් සිය යෝධ සැලැස්ම ක‍්‍රියාත්මක කළා. සැලැස්ම අහවර වුණු පසුව ඔහුට මහත් සහනයක් දැනුණා. සිය සගයාත් එකතු කර ගෙන ළඟ කඬේකට ගිහින් කහට කෝප්පයක් බීලා සිය සැලැස්ම සාර්ථක වුණු ප‍්‍රීතිය භුක්ති වින්දා.
පහුවෙනිදාට උදා වුණා. පන්තිභාර ගුරුතුමියත් වෙනදා වාගේම පන්තිකාමරයට පැමිණෙන විට සියලූම ළමයි නැගී සිටියා ‘ආයුබෝවන්’ කියාගෙන. කොහොමින් කොහොම වුණත් සරත්ගේ හිතට එතරම් හරි නැහැ. ටිකක් බයත් වගේ ගතියකුත් දැනුණා.
එ් මුකුත් නොදන්න පන්ති භාර ගුරුතුමිය කලූ ලෑල්ලේ ලියපු යම් දෙයක් මතක් කරන්න ලාච්චුව ඇරල අත ඇතුලට දැම්මා මකනය, එහෙමත් නැත්නම් ඩස්ටරය, එලියට ගන්න. එ්ත් එක්කම වගේ ඈ නඟපු හඬ විලාපයක් ද නැත්නම් වෙන දෙයක් ද කියලා සරත්ට හිතා ගන්න බැරි වුණා. ඔහුගේ කන් බීරි වුණා වගේ දැනුණා.
”කවුද මේ වැඬේ කළේ?”
ළමයි එකිනෙකාගේ මුහුණ දිහා බලන්න වුණා. ගුරුතුමිය කතා කරන්නෙ කුමක් ගැන ද කියල ඔවුන්ට සිතා ගන්නට නොහැකි වුණා. ඇය කතා කළේ තවමත් අත ලාච්චුව ඇතුළේ තියාගෙන. ලාච්චුව ඇතුළෙ කවුරුහරි සතෙක් වත් ද? ගෙම්බෙක් වත් පැනලද? එ්ත් ටික මොහොතකින් සියල්ලන්ටම කාරණය වැටහුණා, ගුරුතුමිය අත එලියට ගත්තට පස්සෙ.
ඇගේ අත අසූචි වලින් නැහැවිලා.
ඊට පස්සෙ කුමක් ද සිදු වුණේ? සරත් අහු වුණා ද? නැත්නම් ඔහුගේ මිතුරා ඔහුව පාවා දුන්නා ද?

මම ඇය දෙස බලා සිටියේ මේ ප‍්‍රශ්න හිතේ තියාගෙන.
”තාත්තා අන්තිමේ දි අහු වුණා. එයාගේ යාලූවා එයාව පාවල දුන්නා.”
”හරි පුදුමයි නේ. පිරිමි ළමයි සාමාන්‍යයෙන් පාවල දෙන්නෙ නැහැ නේ ද?”
මං එහෙම කිව්වේ ඇය මා හා එකඟ නොවෙයි කියා සිතාගෙන.
”එ්ක තමයි. නමුත් කොල්ලො කාලෙ බයටත් ඔය වගේ වැඩ කරනවා මං හිතන්නේ. තාත්තගෙන් අහන්න  ඕන ඊට පස්සෙ මොකද වුණේ කියල.”
ඉන් එහාට අහන්න දෙයක් මට තිබුණේ නැහැ. මං මගේ බිරිඳ දෙස බලා සිටියා.

Saturday, March 16, 2013

සීනුවට ඇරියුම් කිරීම නොහොත් සමාධියෙන් දිවි ගෙවීම

අද වන විට අන්තර්ජාලය කියන්නේ බොහෝ දෙනා සැරිසරන තැනක්. අයහපත් දෙයින් පිරුණු තැනක් ලෙස බොහෝ දෙනා හැඳින්වුවත් අන්තර්ජාලය මගේ ජීවිතයේ මහා වෙනසක් ඇති කළා. මා ප‍්‍රිය කරන මගේ ජීවිතයේ බොහෝ විරුවන් මුලින්ම හමු වූයේ අන්තර්ජාලයේ.
මගේ සගයන් පිටු සකසන අතරතුර අන්තර්ජාලයේ ඉබාගාතේ සැරිසරන විට මට හමු වුණා ලස්සන වෙබ් අඩවියක්.
http://invitingthebell.com නමින් එය හැඳින්වෙනවා.
මා කොතෙකුත් අසා ඇති මගේ ප‍්‍රියතම අජාන් බ‍්‍රහ්මවංසෝ දේශනය, කරදරකාරයින් සමඟ දිවි ගෙවන්නේ කෙසේද, යන්න එහි කැටි කොට තිබෙන්නේ මෙළෙස.
 
එක. ඇදුරන් ලෙස ඔවුන් දැක ගැනීම. ඉවසීමත් කරුණාවත් පරීක්ෂා කළ හැක්කේ ඔවුන් මඟින් පමණයි.
දෙක. ඔවුන් සමඟ ඔබ ගෙවන්නේ ටික වෙලාවයි. වැඩිම වුණොත් පැය ගාණක් වෙයි. එ්ත් ඔවුන්ට ඔවුන් සමඟ දවසම ගත කරන්න වෙනවා. ඔවුන්ට අනුකම්පා කරන්න.
තුන. අනිත්‍යයි කියන දේ මතක තියා ගන්න. හැමදාම ඔවුන් එ් විදිහට ඉන්නෙ නැහැ. එ් නිසා හැමදාම ඔබට එය දරා ගත යුතු වෙන්නෙත් නැහැ.
හතර. ඔවුන්ගේ හොඳ ගතිගුණ ගැන සිහි කරන්න. එ්වා ගැන කියමින් ඔවුන් දිරිමත් කරන්න.
පහ. නිරන්තර කරුණාවෙන් ඔවුන් වෙනස් කරන්න උත්සාහ කරන්න.
හය. යහපත් විවේචනය කියන්නේ හරියට සැන්විච් එකක් වගේ. විවේචනය ඇතුළත් වෙන්න  ඕන අගය කිරීම ඇතුළේ.
හත. එ් මනුස්සයා නරක් වෙන්න ඔබත් හේතු වෙන්න පුළුවන්.
අට. පැත්තකට දාලා පැත්තකට වෙලා ඉන්නවට වඩා, කරදරය ආදරයෙන් වැළඳ ගන්න උත්සාහ කරන්න.
නවය. ඔවුන්ව කරදරකාරයන් වෙන්නෙ සමහර විට ඔබ හිතන විදිහ නිසා විය හැකියි.
 

මෙන්න මේකත් කිව යුතු යි. ඉංග‍්‍රීසියෙන් කියවන එක ලේසියි. නමුත් සිංහලට පෙරලනව කියන එක මට එතරම් තේරෙන්නෙ නැති දෙයක්. එ් නිසා මේ කරුණු නවයේ යම් දෙයක් හරි හැටි ලියැවිලා නැති බවක් පේනවා නම්... කමන්න.